දහඅට අවුරුද්දක් තිස්සේ අතුරුදහන් පොලිස් සාජන් හොයන්න පටන්ගනී

අතුරුදහන් වී සිටින පොලිස් භටයකු සොයා ගැනීමට රහස් පොලිසිය දහඅට අවුරුද්දකට පසු මහජනතාවගෙන් උදව් ඉල්ලා තිබේ.
ඒ 2002 සිට ආගිය අතක් නැති පොලිස් සැරයන්වරයකු සොයා දෙන ලෙස ඔහුගේ බිරිඳ පැමිණිල්ලක් කිරීමෙන් අනතුරුවය.

කෑගල්ල පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරීයේ යෙදී සිටි පොලිස් සැරයන් 13935 එම්.එම් අරුණ සේනාධීර නිලධාරියා අතුරුදහන්ව ඇත්තේ 2002 වර්ෂයේදීය.

ඔහුගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් නිලධාරියාගේ බිරිඳ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කර ඇති පැමිණිල්ලකට අනුව විමර්ශනයක් සිදු කර ගෙන යන බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.

පොලීසිය වැඩි දුරටත් සදහන් කරන්නේ සිදු කරන ලද විමර්ශන වලදී අතුරුදහන්ව සිටින ඉහත නිලධාරියා සම්බන්ධයෙන් මෙතෙක්
නිශ්චිත තොරතුරක් අනාවරණය වී නොමැති බවයි.

ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා තොරතුරු ලබා ගැනිමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහජන සහය ඉල්ලා සිටින අතර අතුරුදහන්ව සිටින පොලිස් සැරයන් 13935 එම්.එම් අරුණ සේනාධිරගේ ඡායාරූපයක් ද මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.

එම නිලධාරියා සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිගේ 011-2392900 දරණ දුරකථන අංකය වෙත දැනුම් දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Comments are closed.