තොන්ඩමන් අවමගුලේදී “එක රටක්-එක නීතියක්” කැඩීම ගැන බෞද්ධ විරෝධය

කොරෝනා රෝගාබාධිත වීමෙන් ගැලවීම සඳහා සෞඛ්‍ය විශේෂඥයන් ලබාදෙන උපදෙස් ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් හා එම පවුල් වල සාමාජිකයන් කඩ කර ඇති බව පෙන්වා දෙන බෞද්ධ සංවිධානයක්, නිරෝධායන නීතිය යටතේ දඩ මුදල් නියම කළ ජනතාවගේ මුදල් ආපසු ලබාදීමට කටයුතු කරන ලෙස මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා තිබේ.

හිටපු අමාත්‍ය ආරුමුගන් තොන්ඩමන්ගේ අවමගුලේදී, දින 6ක් පුරා දිස්ත්‍රික්ක කීපයක අවමගුල් උත්සවය දේශපාලන ප්‍රචාරක ව්‍යාපාරයක් ලෙස පැවැත්වීමට අවසර ලබා දීමත්, ඒ සදහා විශාල ජනකායක් ඒකරාශී වීමත්, නිරෝධායන නීති නොසලකා කටයුතු කිරීමත්, සිදුව ඇති බවයි මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය වෙත යොමු කරන ලද ලිපියකින් හෙළ බොදු සවිය සංවිධානය පෙන්වා දී ඇත්තේ.

හෙළ බොදු සවිය සංවිධානයේ සභාපති බුදුගල ජිනවංස හිමියන් පෙන්වා දෙන්නේ මේ අයුරින් නිරෝධායන නීති කඩකල දේශපාලනඥයන්ට කිසිදු නීතිමය පියවරක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් හෝ ශ්‍රී ලංකා පොලීසිය විසින් නොගැනීම විමතියට කරුණක් බවයි.

පසුගිය කාලයේදී නිරෝධායන නීති කඩ කළ බව කියමින් විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කර ඇති බව පෙන්වා දෙන බුදුගල ජිනවංස හිමියන් අවධාරණය කරන්නේ ඒ අතර තම දරුවන්ට ආහාර සොයා ගැනීම සදහා කුලී වැඩක් කිරීමට ගිය අයද අතරමගදී පොලිස් භාරයට ගෙන ඇති බවයි.

ඔවුන්ට නිරෝධායන නීතිය ක්‍රියාත්මක වුවද එම නීති ඒ ආකාරයෙන්ම සියල්ලන්ට බලනොපාන බව හිටපු අමාත්‍ය ආරුමුගන් තොන්ඩමන් අවමගුලේදී පැහැදිලි වු බව බුදුගල ජිනවංස හිමියන් මානව හිමිකම් කොමිසමට ලිඛිතව දැනුම් දී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12/1 වගන්තිය අනුව නීතිය පසිඳලීම, ක්‍රියාත්මක කිරීම, නීතිය රැකවරණය සර්ව සාධාරණ විය යුත්තේය යන්න පැහැදිලිව දක්වා ඇති බවත් බුදුගල ජිනවංස හිමියන් මානව හිමිකම් කොමිසමට සිහිපත් කර දී තිබේ.

Comments are closed.