රාජපක්ෂලා මාව අවුරුදු දෙකහමාරක් හිරේ දැම්මා, කරුණාව බදාගෙන ෆොටෝ දැම්මා – ෆොන්සේකා

බොරු චෝදනා නඟමින් එදා තමන්ව වසර දෙකහමාරක් සිරගත කළ රාජපක්ෂ පාලනය කරුණා අම්මාන්ව සිප වැළඳ ගනිමින් ඡායාරූප ගත් බවත් අදත් හමුදාවේ 2000ක් එය රැයින් මැරූ බව ඔහු කියනා විට එය එතරම් ගණන් ගන්නට එපායැයි මහින්ද රාජපක්ෂ මහතා කියමින් සිටින බවත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

“මට කොහොමද සැලකුවේ ? බොරු චෝදනා දාලා, නඩුවක් ගොනුකරලා බොරු කැලෑ උසාවියක, නඩු අහන්න දැම්මෙ මට වඩා නිල දෙකකින් පහළ නිලධාරීන්ව. ඇදගෙන ගිහිල්ලා මාව හිරේ දාලා තිබ්බා අවුරුදු දෙකහමාරක්.

මාව ඇදෙගෙන ගිය දවසේ රෑ 12ට මගේ බිරිඳව සීඅයිඩී එකට අරං ගිහින් තිබුණා. මගේ දරුවෝ ගුවන් තොටුපලින් යනකොට – ගෑණු ළමයි – රෑ දෙකටත් අරං ගිහිල්ලා පැය දෙක තුන එතන කොණේ තියන කාමරේක තියං ප්‍රශ්න කළා.

දැන් කරුණා අම්මාන් ප්‍රසිද්ධියේ කියනවා අපි මෙච්චර ඝාතන කළා, මෙච්චර රණවිරුවො මැරුවා කියලා. ඒ මැරුවෙ එයා නිල හමුදාවක් හැටියට ඇවිල්ලා නෙවෙයි නෙ, ත්‍රස්තවාදියෙක් හැටියට. අතන 2000යි මෙතන 3000යි කියනවා. ඒ කරුණා අම්මාන් එක්ක බදාගෙන පින්තූර ගන්න මහින්ද රාජපක්ෂ මැතිතුමා කියනවා එයා මේ කියන දේවල් එච්චර ගතයුතු දේවල් නෙවෙයි කියලා. එයාට දෙනවා නාමයෝජනා, එයාව ජාතික ලැයිස්තුවෙන් ගන්නවා. ඒගොල්ලො ආරක්ෂා කරනවා.

අපට කියන්න තියෙන්නෙ මේ මිනිස්සුන්ව විශ්වාස කරන්න එපා. ඔය කියන ඔක්කොම ඒ කාලෙත් කිව්වා. දේශප්‍රේමය ගැනත් කිව්වා, රට වෙනුවෙන් ඉන්නවා කිව්වා, යුද්ධෙ දිනුවා කිව්වා. කැප්ටන්ලා, මේජර්ලා 15ක් විශ්‍රාමයවත් නැතුව එළියට දැම්මා. ඒ රණවිරුවන්ට ආදරේ හින්දාද ? තමුන්නාන්සෙලා මේවා තේරුම් ගන්න” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

සරත් ෆොන්සේකා මහතා මේ බව පැවසුවේ ඊයේ (30) පැවති සමගි ජන බලවේගයේ ප්‍රචාරණ රැස්වීමක් අමතමිනි.

Comments are closed.