මැතිවරණයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ නිරෝධායන පනත යටතේ තවමත් ගැසට් කර නෑ – මහින්ද දේශප්‍රිය

කොරෝනා වෛරස් තත්වය තුළ මැතිවරණ පැවැත්වීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ, නිරෝධායන පනත යටතේ තවමත් ගැසට් කර නොමැති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

“කොවිඩ් 19 වසංගත තත්වය තුළ මැතිවරණ පැවැත්වීම පිළිබඳ මාර්ගෝපදේශ – හෙල්ත් ගයිඩ්ලයින්ස් – මේක තවම රෙගුලාසි හැටියට ගැසට් කරලා නෑ නිරෝධායන පනත යටතේ. මේක නමුත් ලබන සතිය තුළ අපි බලාපොරොත්තු වෙනවා ගැසට් නිවේදනය එයි කියලා.

මේ මාර්ගෝපදේශවල, මේක බැලූ බැල්මට ඡන්දෙ තියන්න බෑ වගේ තමයි තියෙන්නෙ. මූලික කරුණු තුන – මුඛ ආවරණ පැළඳීම, නිතර සැනිටරයිස් කිරීම නැත්නම් සබන් යොදා අත සේදීම, මීටරේ දුර තබාගැනීම – අපේ ඡන්දය ඕක මත තමයි රඳා පවතින්නේ.

මේ හතර පැත්තටම මීටරේ පරතරේ තියෙන්න ඕනෙ. මේ තත්වය තුළ කොහොමද අපේ 20 x 20 පන්ති කාමරය තුළ, පුංචි ප්‍රජාමණ්ඩලවල කොහිමද ඡන්දෙ තියන්නෙ ? අපට ඒක බරපතළ ප්‍රශ්නයක් තියෙනවා. බෑ කියලා දෙයක් නෑ. තියන්නම ඕනෙ. ලෝක කරකැවෙන එක නැවතුණොත් හරි හයියෙන් කරකැවෙන්න ගත්තොත් හරි තමයි අපට ඡන්දෙ නොතියා ඉන්න වෙන්නෙ. නැත්නම් අපි අනිවාර්යයෙන්ම අගෝස්තු 05 ඡන්දෙ තියනවා” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

මහින්ද දේශප්‍රිය මහතා මේ බව පැවසුවේ ඊයේ (30) මැතිවරණ කොමිසමේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් කරන බව රජය පැවසුවේ මීට මාසයකටත් පෙරදී වන අතර තවමත් එය ඇදෙමින් පවතී.

Comments are closed.