බිරිඳගේ හා පුතාගේ ආරක්ෂාව වෙනුවෙන් තෙවරප්පෙරුම දේශපාලනයෙන් සමු ගනී !

පොලීසිය ඇතුළු පාර්ශ්ව කිහිපයකින් තමාට එල්ල වන හිරිහැර හේතුවෙන් තම බිරිඳ සහ පුතනුවන් පීඩාවට පත්ව සිටින බැවින්, දේශපාලනයෙන් සමු ගැනීමට තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, එජාප කළුතර දිස්ත්‍රික් අපේක්ෂක පාලිත තෙවරප්පෙරුම මහතා පවසනවා. ඒ අනුව මෙවර මහ මැතිවරණයේ අපේක්ෂකත්වයෙන්ද ඉල්ලා අස්වන බවයි හිටපු මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ.

තම මියගිය පුතනුවන් වෙනුවෙන් පැවැත්වෙන දානමය පිංකම වෙනුවෙන් සවිකර තිබූ පුවරුවක් ගලවා ඉවත් කිරීමට පැමිණි මතුගම පොලීසියේ නිලධාරීන් පිරිසක් තම බිරිඳව තල්ලු කර දමා ඇති බවත්, ඒ හේතුවෙන් රෝගාතුර වූ බිරිඳ මේ වනවිට නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් තෙවරප්පරෙුම මහතා සඳහන් කරයි.

මහ මැතිවරණයට නාමයෝජනා භාරදීමෙන් පසුව තමන්ට විවිධ පාර්ශ්වයන්ගෙන් බාධා, හිරිහැර සිදුවන බව පෙන්වා දෙන ඔහු පවසන්නේ සමගි ජන බලවේගයට සහ සජිත් ප්‍රේමදාස මහතාට විරුද්ධව එක්සත් ජාතික පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වන නිසා මෙම හිරිහැර සිදුවන බවට විශ්වාස කරන බවයි.

ඒ අනුව තම බිරිඳ සහ පුතා වෙනුවෙන් දේශපාලනය අත්හැරීමට සූදානම් බවත් මේ වනවිටත් ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්සයේ නීති ලේකම්වරයා දැනුවත් කර ඇති බවත් ඔහු පවසනවා. මන්ත්‍රී ධුර අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වීම සඳහා අවශ්‍ය කටයුතු ද කඩිනමින් සිදු කරන බවයි තෙවරප්පෙරුම මහතා පවසන්නේ.

Comments are closed.