කඩා වැටුණු ආර්ථිකය ගොඩ එන්නේ මෙහෙමයි – සජිත්

තමන්ට ආණ්ඩුවක් පිහිටුවීමට හැකියාවක් ලැබුණ හොත් ආණ්ඩුව පිහිටුවා පළමු පැය 24 තුළ තෙල් මිල අඩුකර ජනතාවට ඉමහත් සහනයක් ලබා දෙන බව සමඟි ජනබලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

තෙල් මිල අඩුවන විට ජනතාවගේ අතේ මුදල් ඉතිරි වන අතර එම මුදල් වියදම් කරද්දී කඩා වැටුණු ආර්ථිකය ගොඩ එන බවයි ප්‍රේමදාස මහතා පවසන්නේ.

සරළ ආර්ථික න්‍යාය මෙය වන අතර මෙය වත්මන් ආණ්ඩුවට නොතේරෙන බව ඔහු සඳහන් කරයි.

කොරෝනාවෙන් ආර්ථිකය කඩා වැටුණු රටවල් ආර්ථිකය යළි නඟා සිටුවීමට ගත් ප්‍රධානම පියවර වන්නේ ජනතාව අතර මුදල් ලබා දීම වන නමුත් ලංකාව තුළ සිදු වූයේ රු.5000 කෑලී දෙකක් දී එය එතනින් නතර කිරීම බව ප්‍රේමදාස මහතා පවසයි.

එහෙත් එම රු.10,000 විදුලි බිලෙන් හා ජල බිලෙන් අය කරන බවයි ඔහු පෙන්වාදෙන්නේ.

ඒ අනුව මේ ආණ්ඩුවට තරම් ජනතා සහන කප්පාදු කිරීමට වෙන කිසිවෙකුට මොළයක් නැති බව හෙතෙම සඳහන් කරයි.

“ආර්ථික ව්‍යාකූලත්වය සහ අස්ථාවරභාවය තවත් වැඩිවෙලා තියෙනවා දැන් වැඩිපුර කතා බහට ලක්වෙන කොරෝනා දෙවෙනි රැල්ලත් එක්ක. දෙවෙනි රැල්ලේ වගකීම භාරගන්න ඕනෙත් මේ වර්තමාන රජය. අනන්තවත් අපි මැතිවරණ කොමිසමට කිව්වා, දේශපාලන නායකයන්ට කිව්වා කඩිමුඩියේ මැතිවරණ තියන්න එපා කියල. රජය කිව්වා අපි මේ මැතිවරණයට මුහුණ දෙන්න බැරිව කියන්නේ කියලා. එහෙම මැතිවරණයට බය වෙලා කියන්නේ කොහොමද අද රටේ වැඩිම ජන හමු ප්‍රමාණයක් පක්ෂයක් ලෙස පවත්වන්නේ අපි. ජනහමු 1000ක් අපි ක්‍රියාත්මක කරනවා.”

තම ක්‍රියා කරන්නේ සමාජ සේවකයෙක් ලෙස ජනතාවගේ පාර්ශවයෙන් තීන්දු තීරණය ගනිමින් බව සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියාසිටියි.

ඔහු මෙම අදහස් පළ කළේ දෙණියාය සහ හක්මන ප්‍රදේශයන්හි පැවති ජනහමුවලදීය.

Comments are closed.