සජිත්වාදී පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ නීති කටයුතු සඳහා 50 ක නීතිඥ මණ්ඩලයක් සූදානමින්

හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළකිරීමට ඉදිරිපත්ව සිටින එජාප පළාත් පාලන මන්ත්‍රීවරුන්ට එරෙහිව එක්සත් ජාතික පක්ෂය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වුවහොත් එම පළාත් පාලන මන්ත්‍රීවරුන් වෙනුවෙන් පෙනී සිටීම සඳහා ප්‍රවීන හා දක්ෂ නීතිඥවරුන්ගෙන් සමන්විත 50 දෙනෙකුගෙන් යුක්ත කණ්ඩායමක් සූදානම්ව සිටින බව වාර්තා වේ.

සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙම නීතිඥ කණ්ඩායම ඒ සඳහා සූදානම් කර ඇති බවයි වාර්තා වන්නේ. ජනාධිපති නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා මෙම නීතිඥ කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කරන අතර ඔහු සමග ජනාධිපති නීතිඥවරුන් 10 දෙනෙක් පමණ ඊට ඇතුළත් බවයි වාර්තා වන්නේ.

මෙම නීතිඥ කණ්ඩායම පළාත් පාලන මන්ත්‍රීවරුන් වෙනුවෙන් නොමිලේ නීති කටයුතු සඳහා මැදිහත්වීමට සූදානමින් සිටී.

සජිත් ප්‍රේමදාස මහතාට සහාය දක්වන පළාත් පාලන මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පියවර ගන්නා බව එජාප ප්‍රධානීන් පසුගියදා ප්‍රකාශ කළ අතර ඊට ප්‍රතිචාර දක්වමින් සජිත් පාර්ශ්වය පවසන්නේ මේ වනවිට එජාප පළාත් පාලන මන්ත්‍රීවරුන් බහුතරයක් සජිත් ප්‍රේමදාම මහතා සමග එක්ව සිටින බැවින් එවැනි තර්ජන හරහා පළාත් පාලන මන්ත්‍රීවරු මෙල්ල කළ නොහැකි බවයි.

Comments are closed.