දෙමළ ධීවර ඉඩමක් ඇල්ලීමට නාවික හමුදාව ගත් උත්සාහය අසාර්ථකයි

උතුරේ දෙමළ ධීවරයකුට අයත් වෙරළාසන්න භුමියක් නාවික හමුදාව විසින් අත්පත් කරගැනීමට දැරූ උත්සාහයක් ගම්වැසියන්ගේ සහ ඉඩම් හිමියාගේ විරෝධය හමුවේ අසාර්ථක වී තිබේ.

යාපනයේ, මාදගල් ප්‍රදේශයේ නාවික හමුදාව විසින් වෙරළ නිරීක්ෂණ මුරකුටියක් පවත්වාගෙන යන භුමිය ඉඩම් හිමියාගේ දැඩි අකැමැත්ත නොතකා නිල වශයෙන් පවරා ගැනීමට අගෝස්තු 20 බ්‍රහස්පතින්දා නාවික හමුදාව වෑයම් කළ බව උතුරේ වාර්තාකරුවෝ පවසති.

මානක කටයුතු සදහා පැමිණ සිටි මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ඉඩම හිමි සෙල්වතුරෙයි නවරත්නම් සහ ගම් වැසියන්ගේ බලවත් විරෝධය හමුවේ මැනීම් කටයුතු නවතා දැමීමට සිදුව තිබේ. තම ඉඩමේ සිට මුහුදට මායිම්ව පිහිටි කොටස නාවික හමුදාව විසින් අට අවුරුද්දක් තිස්සේ වාඩිලාගෙන සිටීම නිසා ධීවර රැකියාවට මහත් බාධා පැමිණ ඇති බව ඉඩම් හිමියා මාධ්‍යවේදීන්ට කියා සිටියේය.

ආණ්ඩුවේ ‘ප්‍රතිපත්තිය’

දෙමළ ධීවරයකු සතු භූමිය පවරා ගැනීමට රජයේ බලධාරීන් එම උත්සාහය දරා තිබුනේ ජීවිකාව පවත්වාගෙන යාමට අවශ්‍ය ඉඩම්වලින් කිසිවකු ඉවත් නොකිරීම අලුත් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බවට ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කළ දිනයේමය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තුවේ නව සැසි වාරය අමතමින් කියා සිටියේ “නිසි විකල්පයකින් තොරව පරම්පරා ගණනාවක් තිස්සේ තමන් ජීවත් වූ සහ වගා කටයුතු කළ ඉඩම්වලින් කිසිවෙක් ඉවත් කරන්නේ නැහැ,” යනුවෙනි.

මිනින්දෝරු දෙපාර්තමේන්තුව ඉඩම මැන මායිම් කිරීම සඳහා පැමිණ ඇත්තේ වලිකාමම් නිරිත, සන්දිලිපායි ප්‍රාදේශීය ලේකම් යූ යශෝධා විසින් බලය පවරන ලද දැන්වීමක්ද සමගය. මාර්තු 11 දිනය සහිතව ලියා ඇති එම ලිපියෙහි දැක්වෙන පරිදි පර්චස් 15.7 ක භුමි භාගය මැන වෙන් කරගැනීමට ඇය විසින් බලය පවරා ඇත්තේ ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යවරයාගේ නියෝගයක් අනුව යමිනි.

එම ස්ථානයට ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරීන්ද පැමිණි තිබෙන අතර නාවික හමුදාව විසින් ඉඩම පවරා ගැනීමට ඇති ජනතා විරෝධය හමුවේ විරෝධය ලිඛිතව සටහන් කර දෙන ලෙස නිල ඇදුමින් සැරසී සිටි පොලිස් පරීක්ෂක වරයෙක් ඉඩම් හිමියාට උපදෙස් දෙන අයුරු මාධ්‍යවේදීන්ගේ කැමරා කාචයේ සටහන්ව තිබේ.

නාවික හමුදාවට පවරාගන්නට යන්නේ තමන් සතු පර්චස් 45ක භූමියෙන් කොටසක් බව පවසන ඉඩම් හිමියාට පොලිස් නිලධාරියා වැඩි දුරටත් දන්වා ඇත්තේ එම ලිපිය රජයේ බලධාරීන් වෙත යොමු කළ හැකි බවයි.

ඕනෑ තරම් ආණ්ඩුවේ ඉඩම්

ඉඩම් හිමියා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කනගරත්නම් සුගාෂ් එහි පැමිණි පොලිස් අධිකාරීවරයකුට පැහැදිලි කර දී ඇත්තේ සෙල්වතුරෙයි නවරත්නම් අතහැරීමට අකැමැති භූමිය අවට රජයේ ඉඩම් විශාල ප්‍රමාණයක් පවතින අතර නාවික හමුදාවට අවශ්‍යනම් ඒවයින් කොටසක් වෙන් කරගත හැකි බවයි.

තම පෞද්ගලික ඉඩම නාවික හමුදාවට පවරා ගැනීමට විරුද්ධ බව දැනුම් දෙමින් සෙල්වතුරෙයි නවරත්නම්ට පොලිස් නිලධාරීන් වෙත ලිඛිත ප්‍රකාශයක් ලබා දුන් බව උතුරේ වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.

නාවික හමුදාවේ උසස් නිලධාරියකු සමග ඉඩම් හිමියාට නීතිඥ සහාය ඇතිව සාකච්ඡා කිරීම සදහා අවස්ථාව ලබා දුන්නත් එම භුමි භාගය රජයේ ආයතනයක් සතු බව පවසමින් ගම්වාසීන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට පොලිස් අධිකාරීවරයා නියෝග කරන ආකාරයත් මාධ්‍යවේදීන්ගේ කැමරා කාචයේ සටහන්ව තිබේ.

අවුරුදු අටකට ඉහතදී නාවික හමුදාවෙන් අල්ලා ගන්නා ලද තම භූමිය නිදහස් කරගැනීම සඳහා රජයේ බලද්ගාරීන්ට මෙන්ම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමටත් කරන ලද පැමිණිලිවල පිටපත් මාධ්‍යවේදීන්ට පෙන්වමින් සෙල්වතුරෙයි නවරත්නම් පවසා ඇත්තේ ඉන් කිසිදු පලක් නොලද බවයි.

Leave A Reply

Your email address will not be published.