පාතාලයට ගිනි අවි ඇදීමේ සැකයට මාධ්‍යවේදියකු හතරවැනි තට්ටුවේ

ගිනි අවි ප්‍රවාහනය සදහා ආධාර අනුබල දීමේ චෝදනා ලබන ප්‍රධාන ධාරාවේ පුවත්පතක මාධ්‍යවේදියකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ගෙන ප්‍රශ්න කිරීම ආරම්භ කර තිබේ.

මාධ්‍යවේදීයා සම්බන්ධයෙන් කරන ලද දීර්ඝ විමර්ශනයකින් පසුව හෝමාගම, පිටිපන ප්‍රදේශයේදී ඔහු අත් අඩංගුවට ගන්නා ලද බවයි පොලිසිය පවසන්නේ.

මාධ්‍ය වරප්‍රසාද අයුතු ලෙස යොදා ගනිමින් ගිනි අවි ප්‍රවාහනය සදහා එම මාධ්‍යවේදියා ආධාර අනුබල දුන් බවට දැනට අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නීතිඥ ජාලිය සේනාරත්න සදහන් කළේ අගෝස්තු 20 බ්‍රහස්පතින්දා පැවැති මාධ්‍ය හමුවකදීය.

දැනගන්නට ලැබී ඇති පරිදි පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සිංහල පුවත්පතක ජනප්‍රිය විශේෂාංග ලියන්නකු වන මාධ්‍යවේදියා ආයුධ ප්‍රවාහනයට දායක වී ඇත්තේ පාතාල නායකයකු වෙනුවෙනි.

ඒ කටයුත්තට වෙනත් මාධ්‍යවේදීන් සම්බන්ධ දැයි යන්න තව දුරටත් විමර්ශනය කරන අතර මේ වන තෙක් එවැනි සම්බන්ධතාවයක් අනාවරණය වී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියා සිටියේය.

ඉදිරි විමර්ශන වලදී ඒ සම්බන්ධයෙන් අනාවරණය වුවහොත් මාධ්‍ය වෙත එම තොරතුරු නිකුත් කිරීමේ බලාපොරොත්තුව පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න වෙතින් පල විය.

Leave A Reply

Your email address will not be published.