රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත් කිරීම පිළිබඳව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ප්‍රකාශය

ප්‍රජාතන්ත්‍රවාදය සහ ආර්ථික ස්ථාවරත්වය සඳහා වන ජනතා අරගලය පිටුපස දැඩිව නැගී සිටින විශ්ව විද්‍යාල ආචාර්යවරුන් නියෝජනය කරන ජාතික වෘත්තීය සමිතිය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වර්ෂ 2022 මැයි 12 දින කිසිදු උපදේශන ක්‍රියාවලියකින් තොරව තනි තීරණයක් වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කිරීම තරයේ හෙළා දකී. වර්ෂ 2022 මැයි 09 වැනිදා මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීම නිසා පුරප්පාඩු වූ අග්‍රාමාත්‍ය ධූරය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් පරිදි “පාර්ලිමේන්තුවේ යම්කිසි මන්ත්‍රීවරයකු කෙරෙහි පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම පමණින් ඇතැයි ජනාධිපතිවරයා විසින් කල්පනා කරනු ලබන මන්ත්‍රීවරයා අගමැති ධූරයට පත් කිරීම” ජනාධිපතිවරයාට භාර විය. ජනාධිපතිවරයාට පුද්ගලික හෝ දේශපාලන හේතූන් මත ඔහුට කැමති අයෙකු පත් කළ හැකි බව මින් අදහස් නොවේ. ඇත්ත වශයෙන්ම, වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමිවේද නැද්ද යන්න පිළිබඳව ඔහු අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු සොයා බලන බව පෙනෙන්නට තිබේ. මෙය කිසිසේත්ම පිළිගත නොහැකිය.

පසුගිය සති කිහිපය තුළ දේශපාලන සන්දර්භයේ සියලු වැදගත් වෙනස්කම් සිදු වූයේ ජනතා විරෝධතා ව්‍යාපාරයේ ඉල්ලීම් නිසා බව ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ රනිල් වික්‍රමසිංහ මහතාට සිහිපත් කරදිීමට අපි කැමැත්තෙමු. හිටපු අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිසට ඉල්ලා අස්වීමට සිදු වූයේ ජනතාවගේ අසීමිත ඉල්ලීම් නිසාය. සර්ව පාක්ෂික අන්තර්වාර ආණ්ඩුවක් පත්කිරීමේ හැකියාව නිර්මාණය වූයේ විරෝධතා ව්‍යාපාරය නිසා පමණි. මේ ප්‍රජාතන්ත්‍රවාදී විවරය ජනාධිපතිවරයා විසින් පැහැර ගත්තේ තමාගේ හිතවත් අපේක්ෂකයකු අග්‍රාමාත්‍ය ධුරයට පත් කර ගැනීමට බව දැන් පුරවැසියාට පැහැදිලිය.
සර්ව පාක්ෂික හෝ බහුවිධ අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව සොයා බැලීම සඳහා ජනාධිපතිතුමා සියලු දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කර කටයුතු කිරීම ගැන අපි සෑහීමකට පත් නොවෙමු. එහෙයින්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මේ අන්දමින් ගන්නා ලද පෙර නොවූ විරූ ක්‍රියාමාර්ගය අර්ථ දැක්විය හැක්කේ ඔහු සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර ඇති ප්‍රජාතන්ත්‍ර විරෝධී හා දූෂිත දේශපාලන ගනුදෙනුවක් ලෙස පමණක් බව වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරයාගේ පාර්ශ්වයේ සහාය දැක්වීමේ පූර්ව සුදානමෙන් තවදුරටත් සනාථ වේ. දේශපාලන හා ආර්ථික අර්බුදවලට විසඳුම් සෙවීම සඳහා ජනතාව ගෙන යන අරගලය අමු අමුවේ නොතකා හරිමින් දේශපාලන ක්‍රියාදාමය හසුරුවා ගැනීම මගින් පුරවැසියා සමඟ ජනාධිපතිවරයාගේ ගැටුම තවදුරටත් තීව්‍ර කරනු ලබයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

තමාව එසේ පත් කරන ලෙස තමන් කිසිවිටෙකත් ඉල්ලා නොසිටි බව වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත. තමාට ජනාධිපතිවරයා විසින් ආරාධනා කළ බවත්, ඔහුගේම පක්ෂයෙන් වෙනත් කිසිදු සහයෝගයක් නොමැති බවත්, වෙනත් කිසිවකුගෙන් ලිඛිත සහයෝගයක් නොමැති බවත් ඔහු කියා සිටී. එපමණක් නොව, පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී තමන්ගේම මැතිවරණ ආසනය පවා තහවුරු කර ගැනීමට නොහැකිව, තම පක්ෂයට අඛණ්ඩව වැඩිම මැතිවරණ පරාජයන් සංඛ්‍යාවක් ලබා දුන් අසාමාන්‍ය ලෙස දුර්වල මැතිවරණ ඉතිහාසයක් වික්‍රමසිංහ මහතාට ඇත.

මීට අමතරව, ඔහු දිගින් දිගටම රාජපක්ෂවරුන්ගේ අවශ්‍යතා ආරක්ෂා කරමින් සහ ඒ වෙනුවෙන් සේවය කරමින් සිටින බවට පු`ඵල්ව පැතිරී ඇති චෝදනා එල්ල වී ඇති අතර, කුප්‍රකට මහ බැංකු වංචාවට සෘජුව හෝ එය වසන් කිරීම හරහා සම්බන්ධ වී ඇති බවට වන චෝදනාවන් ඔහු නුසුදුස්සකු වීමට පාදක වන හේතු කිහිපයක් පමණි. ඔහු නිශ්චිත වශයෙන්ම පෙනී සිටින්නේ ද වත්මන් විරෝධතා ව්‍යාපාරය මේ රටේ දේශපාලන රාමුවෙන් ඉවත් කිරීමට උත්සාහ කරන දේ වෙනුවෙන් ය.

ජනාධිපතිවරයා වහාම ඉල්ලා අස්විය යුතු බවටත්, ප්‍රජාතන්ත්‍රවාදීව විශ්වාස කළ හැකි සහ ව්‍යවස්ථාපිත අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීමටත් වන ජනතාවගේ ඉල්ලීම විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය විසින් නැවතත් අවධාරණය කරනු ලබයි. එවැනි ඕනෑම අන්තර්වාර ආණ්ඩුවක් මගින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට සහ වගවියයුතු ආණ්ඩු පාලනයක් සහතික කෙරෙන ඉල්ලා සිටින වෙනත් දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා වහා පියවර ගත යුතුය. ජනාධිපති රාජපක්ෂ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම්වලට වල කැපීමට දිගටම කටයුතු කරන්නේ නම්, සහ ඔහුගේ පාලනයේ නොවැළැක්විය හැකි සහ කල් ඉකුත් වූ අවසානය තවදුරටත් දීර්ඝ කර ගැනීම සඳහා දේශපාලන ගනුදෙනු සමඟ දිගටම කටයුතු කරන්නේ නම්, එය නිසැකවම ආර්ථික හා දේශපාලන පෙරමුණු දෙකෙහිම විනාශකාරී ප්‍රතිවිපාකවලට තුඩු දෙනු ඇත.

“අරගලය” නමින් හැඳින්වෙන ජවසම්පන්න සහ ගතික තරුණ ව්‍යාපාරය විසින් මෙහෙයවනු ලබන දැවැන්ත ප්‍රජාතන්ත්‍රවාදී අරගලය මගින් පැහැදිලිව ප්‍රකාශ කර ඇති ජනතා ඉල්ලීම්වලට ශ්‍රී ලංකාව සමඟ සම්බන්ධ වී එකී ඉල්ලීම් සාක්ෂාත් වන බව සහතික කිරීමට අවැසි සහයෝගය දක්වන ලෙස විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය විසින් සියලුම ජාත්‍යන්තර ක්‍රියාකාරීන්ගෙන් ඉල්ලා සිටී. ජනතාව දරා සිටින අන්ත ආර්ථික දුෂ්කරතා විසඳීමට ජාත්‍යන්තර සහයෝගය සාදරයෙන් පිළිගන්නා අතර, වත්මන් ප්‍රජාතන්ත්‍ර විරෝධී දේශපාලන ගනුදෙනුව සහ ඉදිරියේදී අනිවාර්යයෙන්ම අනුගමනය කෙරෙන කූටෝපායන් නීත්‍යානුකූලභාවයට පත් කිරීමෙන් ජනතා පරමාධිපත්‍යය හෑල්ලුවට ලක් නොකරන ලෙස අපි ඉල්ලා සිටිමු.

මේ මොහොතේ වික්‍රමසිංහ මහතාට පමණක් ජාත්‍යන්තර ක්‍රියාකාරීන්ගේ ගෞරවය හිමිවන්නේය යන තර්කය අසත්‍ය වන අතර එය පදනම් වන්නේ හුදෙක් පන්ති සහ දෘෂ්ඨිවාදී නැඹුරුව මත පැන නගින සංජානනය මතය. නීත්‍යානුකූල සහ වගකියන පාලනයක් පමණක් විශ්වාසයෙන් සහ අභිමානයෙන් යුතුව ඉදිරියට යාමට අවශ්‍ය ආර්ථික සහ වෙනත් ආකාරයේ ස්ථාවරත්වයක් සහතික කරනු ඇති බවට වෙන කවරදාටත් වඩා ඒත්තු ගැන්වී සිටින ශ්‍රී ලංකාවේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම්වලට එවැනි අතිශය පටු අන්දමේ සරල කිරීම් ඔස්සේ අපහාසයක් පමණක් එක් කරයි.

වත්මන් අර්බුදය විසඳීම සඳහා අනෙකුත් වෘත්තීය සමිති සහ ජනතා ව්‍යාපාර සමඟ එක්ව කටයුතු කිරීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය කැපවී සිටී. ඓතිහාසික වශයෙන් සැලකිය යුතු විරෝධතා ව්‍යාපාරයක් සහ ජනතාවගේ ප්‍රතිරෝධයෙන්, (විශේෂයෙන්ම තරුණ තරුණියන්ගේ), දූරදර්ශී සහ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන නායකත්වයක් ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීනව උග්‍ර වෙමින් පවතින ගැටලුවලට විසඳුම් සෙවිය යුතුය.

රොිහාන් ලක්සිරි
ලේකම්
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය