වසරක් තුළ ශ්‍රී ලංකන් ගුවන් නියමුවන් 70ක් සේවය හැර ගිහින්…

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ වැටුප් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් වසරක් තුළ ගුවන් නියමුවන් 70කට අධික ප්‍රමාණයක් සේවයෙන් ඉවත්ව ඇති බව එම ගුවන් සේවයේ ගුවන් නියමුවරු නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරති.

මේ ගුවන් නියමුවන්ගේ හිඟය පිළිබඳව පසුගිය දා පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර ද පාර්ලිමේන්තුව තුළ හෙළිදරව්වක් කළේය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 470 යානය ඔස්සේ දකුණු කොරියාවට යෑමට සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිරිසකට, ගුවන් යානයක පමාවෙන් එම අවස්ථාව අහිමි වීමේ සිදුවීම පිළිබඳව පාර්ලිමේන්තුවේ දී කම්කරු ඇමතිවරයා විසින් සිදුකළ බරපතල චෝදනාවට අදාලව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ගුවන් නියමුවරු මේ පවතින තත්ත්වය සම්බන්ධව හෙළි දරව් කරති.

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවන් එම නිවේදනය හරහා පෙන්වාදී තිබුණේ ශ්‍රීලන්කන් ගුවන් සේවය ගුවන් නියමුවන්ට ලබාදෙන වැටුප් හා වේතන ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ගෙවුණු වසරක කාලය තුළ පමණක් ගුවන් නියමුවන් 70කට අධික පිරිසක් සේවයෙන් ඉවත්ව ඇති බවය.

එමෙන්ම තවත් පිරිසක් ඉවත්වීමේ සූදානමකින් සිටින බව ද ගුවන් නියමුවරු ප්‍රකාශ කළහ.

ගුවන් නියමුවන් 330ක් ගුවන් සේවයේ සිටිය යුතු වුවත්, ගුවන් සේවා පරිපාලනයේ පවතින ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් මේ වන විට සේවයේ සිටින්නේ ගුවන් නියමුවන් 250ක් පමණක් බවද එම නිවේදනයෙන් ඔවුහු පෙන්වා දී සිටියහ.