ඉරානය රතු නිවේදනයක් ඉල්ලයි

මීට වසරකට පෙර, 2020 ජනවාරියේ, ඉරාන විප්ලවීය හමුදා ප්‍රධානී කසීම් සුලෙයිමානී ඝාතනය කිරීමට අණදීම සම්බන්ධයෙන් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු ඇමෙරිකන් රජයේත් හමුදාවේත් ඉහළ නිලධාරීන් 47 දෙනකු අත්අඩංගුවට ගැනීමට ‘රතු නිවේදනයක්’ නිකුත් කරන්නැයි ඉරානය අන්තර් ජාතික පොලිසිය හෙවත් ඉන්ටර්පෝල් සංවිධානයෙන් ඉල්ලීමක් කර තිබේ.
කසීම් සුලෙයිමානී ඉරාන විප්ලනීය හමුදාවේ, ‘කුර්ද්’ අතිරේක බලඇණියට නායකත්වය දුන් හමුදා ජනරාල්වරයාය. ට්‍රම්ප්ගේ අණ පරිදි සුලෙයිමානී ඝාතනය කෙරුණේ, ඔහු ත්‍රස්තවාදියකු යැයි ඇමෙරිකාව විසින් හඳුන්වා දී ඇති බැවිනි.
සුලෙයිමානී, ඉරාකයේ බැග්ඩෑඩ් නුවරට ගුවන්තොටුපොළට පැමිණ, ඉරාක හමුදා ප්‍රධානියකු වූ අබු මහ්දි අල් මුහන්දිස් හමුවී, ඔහු සමඟ රිය පෙරහරකින් යමින් සිටිද්දී, ඇමෙරිකාව සුලෙයිමානී, ඉලක්ක කර ගනිමින් මිසයිල ප්‍රහාර එල්ල කළේය. සුලෙයිමානි පමණක් නොව, අබු මහ්දි අල් මුහන්දිස් ද එම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් විය.
‘ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප්ගේ අණ පරිදි සිදුවුණු එම ඝාතනය සම්බන්ධයෙන් ඇමෙරිකාවට සමාවක් දීමට ඉරානය සූදානම් නැහැ. සුලෙයිමානී ඝාතනයට අනුබල දුන්, අණ දුන් සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනෑ. ඔවුන් අත්අඩංගුවට ගන්න ඕනෑ’ යැයි ඉන්ටර්පෝල් සංවිධානයෙන් රතු නිවේදනයක් ඉල්ලමින්, ඉරාන අධිකරණ කටයුතු පිළිබඳ අමත්‍යාංශ ප්‍රකාශක එස්මයිලී මාධ්‍ය හමුවේ පවසා ඇත.
තෙහෙරාන්හිදීය (ඒ.එෆ්.පී.)