ස්වභාවධර්මයා වෙනුවෙන් හඬ නැඟූ විවේක්ට ස්වභාවධර්මයා ම ද්‍රෝහි වූවා ද?

විවේකනන්දන් හෙවත් විවේක් නම් ඒ අද්විතීය මිනිසා දැයෙන් සමුගත්තේ ඉකුත් අප්‍රේල් 17 වන දින ය.

විවේක් යනු දමිළ උත්ප්‍රාස රංගන ශිල්පියකු, රූපවාහිනී නිවේදකයකු, ගායකයකු මෙන්ම සමාජ ක්‍රියාකරුවෙකි. ඔහු දමිළ සිනමාවේ වඩාත්ම ජනප්‍රිය වන්නේ රන් (2002), සාමි (2003), පෙරසාගන් (2004), උන්නරුගේ නාන් ඉරුන්දාල් (1999), පාර්තිබාන් කානවු (2003), අන්නියාන් (2005), සිවාජි (2007) වැනි චිත්‍රපට වල දැක්වූ අද්විතීය උත්ප්‍රාස රංගන දායකත්වයටයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

සම්මානලාභී දමිළ කලාකරුවකු වන විවේක් 2009 වර්ෂයේදී ඉන්දියානු රජය විසින් පිරිනමනු ලබන පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලබන්නේ කලා ක්ෂේත්‍රය වෙනුවෙන් ඔහු කළ කැපවීමට ඇගයීමක් වශයෙනි.

එහෙත් විවේක් ගේ රංගන ජීවිතය අභිබවා ගිය සමාජ ක්‍රියාකාරීත්වය සඳහන් නොකළහොත් එය ඔහුගේ අවසන් හුස්ම පොදටත් කරනා අසාධාරණයක් බව අපට හැඟී යයි. විවේක් යනු ශ්‍රේෂ්ඨ පරිසරවේදියෙකි. දමිළ ජන සමාජය අතර ඇගයීමට ලක්වූයේ විවේක් ගේ හුදෙක් උත්ප්‍රාස රංගන කුසලතාවය පමණක් ම නොවේ. ඔහු පරිසරය රැකගැනීමට කළ දායකත්වය පිළිබඳ අදටත් දමිළ සමාජය තුළ කතා බහට ලක්වන්නේ විවේක් ආරම්භ කළ ගස් බිලියනයේ ග්‍රීන් කලාම් ව්‍යාපෘතිය නිසාවෙනි.

විවේක්ට ජාතික අපේක්ෂාවක් තිබිණි. එනම් ගෝලීය උණුසුම්කරණයට එරෙහිව තමිල් නාඩු ප්‍රාන්තය පුරා ශාක සිටුවීමයි. ඉකුත් 2010 වර්ෂයේදී ග්‍රීන් කලාම් ව්‍යාපෘතිය ආරම්භ කළ විවේක්ගේ අභිලාශය වූයේ තමිල් නාඩුව පුරා ගස් බිලියනයක් සිටුවීමයි.

මේ සඳහා විවේක්ට ආදර්ශවත් චරිතයක් සිටියේය. එනම් ඉන්දියාවේ එදාමෙදා තුර බිහිවූ ශ්‍රේෂ්ඨතම රාජ්‍ය නායකයකු ලෙස සැලකෙන වන අබ්දුල් කලාම් ය. විවේක් අබ්දුල් කලාම් ගේ අනුගාමිකයකු කිවහොත් වඩා නිවැරදිය. අබ්දුල් කලාම් ජනාධිපතිවරයාගේ පරිසර ප්‍රතිපත්තියට විවේක් බෙහෙවින් ගරු කළේය. අබ්දුල් කලාම් ජනාධිපතිවරයා වෙනුවෙන් සක්‍රිය මෙහෙවරක් කළ පුද්ගලයකු වශයෙන් විවේක් දමිළ සමාජය තුළ ප්‍රසිද්ධය. ග්‍රීන් කලාම් ව්‍යාපෘතිය බිහිවීමට මූලාරම්භය වන්නේ ද මෙයයි.

විවේක් සහ අබ්දුල් කලාම්; ඡායාරූපය: ටැමිල් ගාඩියන්

ස්වභාවධර්මය රැකගැනීමට වෙරදුන් විවේක්ට ස්වභාවධර්මය ම ද්‍රෝහි වූවා ද?

විවේක් දැයෙන් සමුගන්නේ ඉකුත් අප්‍රේල් 17 වන දිනය. ඔහුගේ මරණයට හේතුව ලෙස සඳහන් වන්නේ හෘද්‍යාබාධයකි. විවේක් සිය අවසාන මිනිත්තු කිහිපය ගතකරනු ලැබුවේ චෙන්නායි ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ය.

විවේක්ට තමිල් නාඩු ප්‍රාන්තය පුරා ගස් බිලියනයක් සිටුවීමේ උදාරතර වැඩපිළිවෙල අවසන් කිරීමට හැකිවූවාද? නැහැ. මිය යන විට දී විවේක් හට සිටුවීමට හැකිව තිබී ඇත්තේ ශාක් තිස්තුන් ලක්ෂයක් පමණ බව කියවේ.

ඔහු පරිසරය රැක ගැනීම වෙනුවෙන් කළ උදාරතර මෙහෙවර අවසාන කිරීමට නොහැකිවීම පිළිබඳව විවේක් ගේ රසික රසිකාවියන් ස්මරණය කරන්නේ හද පිරි ශෝකයෙනි.

විවේක් ගේ මරණය වටා ගෙතුණු ආන්දෝලනාත්මක කටකතා

විවේක් ගේ හදිසි වියෝව පිළිබඳ නොකී කතා රැසක් මාධ්‍යය තුළින් අසන්නට ලැබේ. මින් එක් සිදුවීමක් නම් විවේක් ගේ මරණය සිදුවූ ආකාරයයි. රෝහල් වාර්තා අනුව විවේක් වියෝවූයේ හෘද්‍යාබාධයකිනි.

කෙසේවෙතත්, ඔහු මියයාමට දින දෙකකට ඉහත දී කොවිඩ් වැක්සිනය ලබා ගත් බවට සඳහන් වේ. ඔහු එම වැක්සිනය ලබාගෙන තිබෙන්නේ චෙන්නායි හි තමිල් නාඩු රජයේ රෝහලකිනි. වැක්සිනය ලබා ගනිමින් මහජනතාව දැනුවත් කිරීමේ අදිටනින් යුතුව විවේක් ඔහු වටා සිටි පිරිස දිරිගන්වමින් ප්‍රකාශ කර තිබෙන්නේ සෑම දෙනෙකුම කොවිඩ් වසංගත තත්ත්වයට එරෙහිව වැක්සිනය ලබා ගත යුතු බවය.

වැක්සිනය ලබා ගත් දිනයට පසු දින විවේක්ට හෘද්‍යාබාධයක් වැළඳෙන අතර, ඊට පසු දින ඔහුගේ මරණය වාර්තා වේ.

මෙම සිදුවීමත් සමඟ විවේක් මරණයට පත්වූයේ ඔහු ලබාගත් වැක්සිනයේ අතුරුආබාධයක් නිසා බවට විවිධ කටකතා ප්‍රචාරය වන්නට විය. එමෙන්ම විවේක් ගේ මරණය සිදුවූයේ කොවිඩ් වැළඳීම මත හටගත් හෘද්‍යාබාධයක් නිසා බවත්, වැක්සිනය ලබා ගත්තද එහි ප්‍රතිඵලයක් අත් නොවූ බවත් පවසමින් ඉන්දියාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය අරඹයා විවිධ පාර්ශවයන් ගෙන් විවේචන එල්ල වන්නට විය.

කෙසේවෙතත්, විවේක් නවතා සිටි රෝහලේ උප සභාපති වෛද්‍ය රාජු සිවසාමි අවධාරණය කරනු ලැබුවේ විවේක් ගේ මරණය සිදුවූයේ බරපතල කිරීටක සහලක්ෂණය (acute coronary syndrome) සමඟ මතුවූ හෘද කම්පනයක් (cardiogenic shock) නිසා බවත්, ඔහුගෙන් කළ පරීක්ෂාවන් වලදී ඔහුට කොවිඩ් ආසාදනය වී නොතිබුණු බවටත්, හෘද්‍යාබාධය හට ගැනීමට දිනකට පෙර විවේක් ලබා ගත් කොවිඩ් එන්නතේ බලපෑමක් මීට හේතු නොවූ බවත් ය.

කෙසේවෙතත්, මෙවන් හෘද්‍යාබාධ තත්ත්වයක් මත විවේක් රෝහල් ගත වූ පළමු අවස්ථාව මෙය බවද වෛද්‍ය සිවසාමි හෙළිදරව් කළේය. විවේක් මෘදු රුධිර පීඩන තත්ත්වයකින් පෙළි පුද්ගලයකු බව ද හෙතෙම සඳහන් කළේය.

විවේක් නාමය අමරණීය වනු ඇත

උත්ප්‍රාස රංගනයෙන් ඔබ්බට සමාජ ක්‍රියාකරුවකු සහ පරිසරවේදියකු ලෙස විවේක් ලබා දුන් සේවාව කියා නිමකළ නොහැකිය.

ආදර්ශවත් චරිතයක වියෝව හමුවේ රසිකයින් ගේ ශෝකාලාපය සිඳෙන තුරු අන්තර්ජාලයේ මෙවන් ලිපි ද තව ලියවෙනු ඇත. එහෙත් එතැනින් මත්තට කිසිවකුට කිසිවක් මතක නැති වනු ඇත. ආවර්ජන ලිපි ද නොලියවෙනු ඇත. එය ලෝක ස්වභාවයයි.

නමුත්.. විවේක් ලොවට ඉතිරි කර ගිය අවසාන නොවූ කාර්යභාරයක් තවමත් ඉතිරිව තිබේ. එනම් ගෝලීය උණුසුම්කරණයට එරෙහි ගස් බිලියනයේ වැඩපිළිවෙලයි. මෙම වැඩපිළිවෙල අවසාන කළ යුතුව ඇත. ඊට ග්‍රීන් කලාම් ව්‍යාපෘතියේ සාමාජිකයන් මෙන්ම විවේක් ගේ ආදර්ශය ලද ඉන්දියානු තරුණ ප්‍රජාව අවදි වීමේ කාලය දැන් එළඹ ඇත.

මරණයෙන් මතු පමණක් කවිසිතුවිලි ජනිත වන හා ගුණ වැයීමේ කලාව ප්‍රගුණ කල අපේ ඇත්තන්ට විවේක් ඉතිරි කර ගිය පණිවුඩයක් තිබේ. එනම් ගෝලීය උණුසුම්කරණයේ තර්ජනය තවමත් අවසාන වී නොමැති බවයි. එය අප ඉදිරියට පැමිණෙන සුලිකුණාටුවක් මෙන් තවමත් නොවිසඳී පවතී.

නැගිටින්න, පරිසරය රැකගන්න.. ගස් සිටුවන්න. ඉන් බිහිවන සෑම ඔක්සිජන් පොදකම විවේක් නැවත නැවතත් අප අතර ජීවත් වනු ඇත.

එය ඔබටත් ඔබගේ අනාගත දරු පරපුරටත් ජීවනාලය සපයනු ඇත.

ප්‍රමෝද් චින්තක පීරිස්