මැදපෙරදිග ශ්‍රී ලාංකිකයන් 23ක් මරුට : 1700කට කොරෝනා

මැදපෙරදිග කලාපයේ රටවල් 17ක වෙසෙන ශ්‍රී ලාංකේය ශ්‍රමිකයන් 1,700කට වැඩි පිරිසකට Covid-19 ආසාදනය වී ඇති බවට වාර්තා වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය මහතා පවසයි.

Covid-19 ආසාදිත මැදපෙරදිග විදෙස් ශ්‍රමිකයන් අතරින් 23 දෙනෙකු මිය ගොස් ඇති බවට වාර්තා වන බවත්, ඒ පිළිබද ඔවුන්ගේ ඥාතීන් දැනුවත් කිරීමට කටයුතු කළ බවත් පවසා සිටි ඒ මහතා, එම රටවල පවතින නිරෝධායන නීතීන්ට අනුකූලව එම දේහයන්ගේ අවසන් කටයුතු සිදුකර ඇති බවද ප්‍රකාශ කළේය.

ආසාදිත පිරිස අතරින් 200කට වැඩි පිරිසක් මේ වනවිටත් සුවය ලබා ඇති බවත්, අනෙක් පිරිස රෝහල්වල ප්‍රතිකාර ලබන බවත් රන්දෙණිය මහතා පවසා සිටියේය.

මිය ගිය පුද්ගලයින් වෙනුවෙන් හිමිවන රක්ෂණ වන්දි මුදල් ඔවුන්ගේ යැපෙන්නන්ට ලබාදීමටත් ඔවුන්ගේ පවුල්වල ඥාතීන් වෙනුවෙන් සුබ සාධන සැලසීමටත් කාර්යාංශය කටයුතු කරන බව ද මේ වනවිටත් අදාළ තොරතුරු කාර්යාංශය විසින් රැස්කරමින් පවතින බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

රෝගය ආසාදිත වූ ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන් ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ අදාළ තානාපති කාර්යාල හා මහකොමසාරිස් කාර්යාල හරහා කාර්යාංශය නිරන්තරයෙන් සොයා බලන බවත්, ඔවුන්ට යම් අවශ්‍යතා පවතීනම් ඒවා ලබාදීමට ද කටයුතු කරමින් සිටින බවත් හෙතෙම සඳහන් කළේය.

Comments are closed.