කරුණාගේ ප්‍රකාශය ගැන විමර්ශනයක් අරඹන්න – රහස් පොලීසියට නියෝග

එල්ටීටීඊ සංවිධානයේ සාමාජිකයෙකු ලෙස සිටියදී දහස් ගණන් හමුදා නිළධාරීන් මරා දැමූ බවට, විනයාගමූඍ්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් විසින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝගයක් ලැබී තිබෙනවා. මෙම නියෝගය ලබා දී ඇත්තේ වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමසිංහ මහතා විසිනි.

ඒ අනුව අදාල ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසන්නේ.

පසුගියදා අම්පාර ප්‍රදේශයේ පැවති රැස්වීමකදී කරුණා අම්මාන් ප්‍රකාශ කළේ කොරෝනා වෛරසයට වඩා තමන් භයානක බවයි. වෛරසයෙන් මියගියේ 11 දෙනෙකු වුවත් තමන් එක රැයකදී හමුදාවේ 2000 – 3000 ක් මරා දැමීමට තරම් භයානක බව ඔහු එහිදී ප්‍රකාශ කර තිබුණා.

මේ සම්බන්ධයෙන් පසුගිය දිනවලදී පක්ෂ – විපක්ෂ දේශපාලනඥයන් රැසක් අදහස් දක්වා තිබිණි. ඇතැම් දේශපාලනඥයන් කරුණාගේ කතාව දැඩිලෙස විවේචනය කරමින් ඔහුට අපරාධ පනත හා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ නඩු පැවරිය යුතු බවට අදහස් දක්වද්දී ඇතැම් දේශපාලනඥයන් ඔහුගේ ප්‍රකාශය සාධාරණීකරණය කිරීමට ද කටයුතු කර තිබිණි.

Comments are closed.