විසිවැනි සියවසේ දෙමළ සංස්කෘතික වර්ග සංහාරයේ 39 වැනි වසර සැමරේ

දකුණු ආසියාකරයේ විශිෂ්ඨතම ග්‍රන්ථ සම්භාරයක එකතුවක් වූ යාපනය පුස්තකාලය ගිනිබත් කිරීමෙන් තිස්නම අවුරුද්දක් ගතවීම සිහිපත් කරමින් පුෂ්පදීපානුස්මරණයක් පවත්වා තිබේ.

අලුතින් 2003 දී විවෘත කරන ලද පුස්තකාලය ඇතුලත අනුස්මරණය පවත්වා ඇත්තේ මුල් පුස්තකාලයේ නිර්මාතෘ සහ එහි විනාශය නිසාම අවසන් ගමන් ගිය දෙදෙනකු සමරමිනි.

සිය පතපොත සහ නිවස 1933 දී දන් දෙමින් පුස්තකාලයට මුලපිරූ කේ.එම් චෙල්ලප්පා සහ දකුණින් ආ මැරයන්ගේ ප්‍රහාරයෙන් පුස්තකාලය ගිනිගනු දැක වැළඳුනු හෘදයාබාධයකින් තම ජීවිතයද නිමවූ ශාන්ත පැට්‍රික් විද්‍යාලයේ ගුරුවර වාග් විශේෂඥ හයසින්ත් සින්ගරායර් ඩේවිඩ් පියතුමා ආලේඛ්‍ය ඡායාරූප අබියස කාර්ය මණ්ඩලය විසින් මල් පුදා පහන් දල්වන ලදී.

දෙමළ දේශපාලකයන් සහ ක්‍රියාධාරීන් පිරිසක් විසින් පුස්තකාලය අබියස එළිමහන් අනුස්මරණය පවත්වන ලද්දේ විසිවැනි සියවසේ දෙමළ සංස්කෘතික වර්ග සංහාරයේ 39 වැනි සංවත්සරය නමිනි.

සිරිල් සහ ගාමිණී

දෙමළ, සිංහල සහ ඉංග්‍රීසි පමණක් නොව. සංස්කෘත, ලන්දේසි, ප්‍රංශ හා ලතින් භාෂාවෙන් ලියවුනු පතපොත මෙන්ම ඓතිහාසික ලියවිලි සහ අත් පිටපත් ද ඇතුළු 95,000 කට අධික ග්‍රන්ථ සම්භාරයක නිවහන වූ යාපනය පුස්තකාලය ගිනිබත් කිරීමේ අපරාධය සිදුකෙරුනේ යාපනය සංවර්ධන සභා මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා ගිය ඇමතිවරුන් දෙදෙනකු වන සිරිල් මැතිව් සහ ගාමිණී දිසානායක යාපනයේ සිටියදීයි.

ජනාධිපති ජේ ආර් ජයවර්ධනගේ නායකත්වයෙන් එවක පැවති එක්සත් ජාතික පක්ෂ රජයේ තරුණ කටයුතු භාර අමාත්‍යවරයා වුයේ රනිල් වික්‍රමසිංහයි. අගමැති වූයේ සජිත් ප්‍රේමදාසගේ පියායි.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පාර්ලිමේන්තු විපක්ෂය වූ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ යාපනය රැස්වීම් භූමියකදී සිදු වූ වෙඩි තැබීමකින් පොලිස් භටයන් තිදෙනකු මරුමුවට පත්වීමෙන් අනතුරුව ආරක්ෂක අංශ හා එක්වූ දකුණෙන් ගිය එක්සත් ජාතික පක්ෂ ආධාර කරුවන් දින තුනක් තිස්සේ යාපනයේ දියත් කළ ප්‍රචණ්ඩතාවට බිලි ගන්නා ලද අගනාම සංස්කෘතික වස්තුව වූයේ යාපනය පුස්තකාලයයි.

ඇඳිරි නීතිය පනවා තිබිය දී මෙම ප්‍රහාරය එල්ල කෙරුනු අවස්ථාවේ එජාප මැති ඇමතිවරුන් නවාතැන් ගෙන සිටියේ පුස්තකාලයට නුදුරු යාපනය තානායමේයි.

ඊලනාඩු පුවත්පත් කාර්යාලය, දෙමළ එක්සත් විමුක්ති පෙරමුණු කාර්යාලය, හින්දු කෝවිලක් සහ සිය ගණනක් කඩ සාප්පු හා නිවාසද දකුණින් ගිය මැරයන් සහ ආරක්ෂක අංශ විසින් විනාශ කරන ලදී.

ඒ කිසිදු අපරාධයක් සම්බන්ධයෙන් මේතාක් කිසිවකු නීතිය හමුවට පමුණුවා නැත.

Comments are closed.