“පොලිස් කොමිසම රවටලා” පත්කළ CID ලොක්කා ගැන පරීක්ෂණ

මිනී මැරුමකට චෝදනා ලැබ සිටි සැකකරුවන් ආරක්ෂා කිරීමේ සැකයට අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටි උසස් පොලිස් නිලධාරියකු රහස් පොලිසියේ ඉහලම තනතුරට පත් කිරීම සම්බන්ධයෙන් වැඩ බලන පොලිස්පතිවරයා දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ.

ඝාතනයට ලක් වූ සන්ඩේ ලීඩර් පුවත්පතේ ආරම්භක කතෘ ලසන්ත වික්‍රමතුංගගේ දියනිය විසින් ජාතික පොලිස් කොමිසමේ සභාපති ප්‍රමුඛ සාමාජිකයන් වෙත යොමු කරන ලද ආයාචනයක් මගින් පෙන්වා දී ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂ ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ.ආර් ප්‍රසන්න ජේ අල්විස් පත්කිරීමෙන් වැඩ බලන පොලිස්පති චන්දන වික්‍රමරත්න නීති විරෝධි ආකාරයෙන් කටයුතු කර ඇති බවයි.

නව CID ප්‍රධානියා ත්‍රස්ත විමර්ශන ඒකකයේ රාජකාරි කළ සමයේ මාධ්‍යවේදීන්ට වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් චෝදනා ලද්දෙක් බව ජාත්‍යන්තර මානව හිමිකම් ආයතනයක් විසින්ද ප්‍රසිද්ධියට පත් කර තිබුණි.

තම පියාගේ ඝාතනය වසන් කිරීමට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් සම්බන්ධ වී ඇති නිසා ඔහු රහස් පොලිසියේ අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා සිටින අහිම්සා වික්‍රමතුංග වැඩි දුරටත් චෝදනා කරන්නේ මිනීමැරුම් සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගැනීමට නියෝග කර, මාස කිහිපයකට පසු වැඩබලන පොලිස්පතිවරයා විසින්ම කොමිසම රවටා පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් රහස් පොලිසිය භාරව පත්කරවා ගෙන ඇති බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති සී. ඩී. වික්‍රමරත්නගෙන් වාර්තාවක් කැදවා ඇති බව ජාතික පොලිස් කොමිසම පවසයි.

“අහිම්සා වික්‍රමතුංග විසින් එවන ලද ලිපිය සැලකිල්ලට ගත් කොමිසම අලුතින් පත් කරන ලද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වරයා සම්බන්ධයෙන් වාර්තාවක් ඉල්ලා තිබේ,” යි කොමිසමේ ලේකම් නිශාන්ත වීරසිංහ කියා සිටී.

ජාතික පොලිස් කොමිසමේ ලේකම් වරයා මාධ්‍ය වෙත වැඩි දුරටත් පවසා ඇත්තේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ මුලික පරීක්ෂණ වලට සම්බන්ධවීම පිළිබදව චෝදනාද අහිම්සා වික්‍රමතුංගගේ ලිපියේ සදහන් කර ඇති බවයි.

මාධ්‍යවේදීන්ට වධහිංසා

ශ්‍රී ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අලුතින් පත් කරන ලද ප්‍රධානියා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් ඇතුළු බොහෝ දෙනකුට වධහිංසා දුන් බවට චෝදනා නගමින් ඔහුගේ පත්වීමට මුලින්ම විරෝධය දක්වා තිබුනේ සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) විසිනි.

වධකයකු ලෙස චෝදනා ලැබීමෙන් ප්‍රසිද්ධියට පත් අයකු ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අලුත් අධ්‍යක්ෂ ප්‍රසන්න ද අල්විස් හඳුන්වා දෙන එම සංවිධානය ඔහුගේ යටතේ ඇති ආයතනයට දෙන ජාත්‍යන්තර සහයෝගය වහාම නැවත සලකා බැලීමට කාලය එළැඹ ඇතැයි එක්සත් ජාතීන්ගේ සාමසාධනය, ඇමරිකා එක්සත් ජනපදය සහ මහා බ්‍රිතාන්‍යයට යෝජනා කර තිබුනි.

යුද සමයේ අත් අඩංගුවේ දී වධබන්ධනයට ගොදුරුවූ මාධ්‍යවේදීන් කිහිපදෙනකු ගොනුකළ මූලික මානව හිමිකම් පෙත්සමක ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහ “ඉහළ පුටුවට පත් වීමට පෙර ත්‍රස්ත විමර්ශන ඒකකයේදී රාජකාරි කළ ප්‍රසන්න ද අල්විස් නම් කර තිබේ.

ඒ මාධ්‍යවේදීන් අතර වෙට්ටිවේල් ජසිකරන් හා ඔහුගේ සහකාරිය වලර්මතී වඩිවේලුද, අයුතු ලෙස දණ්ඩනයට ලක්වීම පිළිබඳ සංකේතයක් ලෙස ජනාධිපති ඔබාමා විසින් හඳුන්වනු ලැබූ ජේ. එස් තිස්සනායගම් ද වෙයි.

Comments are closed.