“සිංහල බෞද්ධයන්ගේ” සම්පත් බැංකුවෙන් හිජාබයට තහංචි

දස වසරකට අධික කාලයක් තම ගිනුම පවත්වාගෙන යන දෙහිවල පිහිටි සම්පත් බැංකු ශාඛාවට හිස් සළුවක් පැළඳ ගිය මුස්ලිම් කාන්තාවකට ඇතුල්වීමට ඉඩ නොදී ආරක්ෂක නිලධාරීන් විසින් දැඩි අපහසුතාවයකට පත්කිරීම සමාජ මාධ්‍ය ඔස්සේ බරපතල විරෝධයට ලක්වීමෙන් අනතුරුව බැංකු ප්‍රධානීන් කණගාටුව පලකරන ඇල්මැරුණු නිවේදනයක් නිකුත් කොට තිබේ.

සිදුවීමෙන් අනතුරුව සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනයක් කරමින් සම්පත් බැංකුවට සමීප මූල්‍ය ආයෝජකයකු වන නිමල් පෙරේරා ප්‍රකාශ කර ඇත්තේ “සම්පත් බැංකුව සිංහල බෞද්ධයන්ට සේවය කිරීම වෙනුවෙන්” පිහිටුවන ලද්දක් බවයි.

සමාජ මාධ්‍ය ජාලා තුළ සංසරණය වන වීඩියෝ පටයකට අනුව එම බැංකුවේ ආරක්ෂක නිලධාරීන් විසින් පීඩාවට පත් කරනු ලැබූ මුස්ලිම් කාන්තාවට හිජාබය ඉවත් කර බැංකුව තුළට ඇතුල්වන ලෙස බල කිරීම හේතුවෙන් පැය දෙකකට අධික කාලයක් ඇයට බැංකුවෙන් පිටත සිටගෙන සිටීමට සිදුව තිබේ.

පසුව එම ස්ථානයට පැමිණි ඇයගේ ඥාතියකු ඒ සම්බන්ධයෙන් බැංකුවේ ආරක්ෂක නිලධාරීන්ගෙන් විමසන අයුරු වීඩියෝ ගත වී තිබෙන අතර ඔහු අවධාරණය කරන්නේ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා පැමිනි තමන්ද ද බැංකුව ඇතුලට නොගත් බවයි.

“අවුරුදු 10 ක් මේ ගොල්ලන්ගේ එකවුන්ට් එක තියනවා මෙහේ. සම්පත් බෑන්ක් දෙහිවල. දැන් සෝල් එක ගලවලා ඇතුලට එන්නලු. බෑන්ක් මැනේජ්මන්ට් එහෙම තමයි කියලා තියනවාලු. ඉතින් ඒ ගැන කතා කරන්න කවුරුහරි ඉන්චාජ් එන්න කිවවහම කවුරුත් මෙහෙට එන්නේ නෑ ”

එහිදී ඔහු බැංකුවේ ආරක්ෂක නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරන්නේ මුස්ලිම් කාන්තාවගේ හිස් ආවරණය ඉවත් කරන ලෙස ඉල්ලීමට බැංකුවට ඇති අයිතිය කුමක්ද යන්නයි.

“එතකොට සෝල් එක ගලවන්න කියන්නේ කවුද? කාටද අයිතිය තියෙන්නේ සෝල් එක ගලවන්න කියන්න මෙතන? මුහුණ වහන්න එපා කියලා තියනවා. මුහුණ වහලා නෑනේ මෙතන.”

අනතුරුව සම්පත් බැංකුවේ ලාංජනය සහිත ටී ෂර්ට් එකක් ඇද සිටින බැංකු නිලධාරිනියක් එම ස්ථානයට පැමින මුස්ලිම් කාන්තාවගේ ජාතික හැදුනුම්පත් ඉල්ලා සිටින අතර එවිට එම කාන්තාවගේ ඥාති සොහොයුරා ඔවුන් ප්‍රශ්න කරන්නේ හැදුනුම්පත ඉල්ලා සිටින්නේ කුමක් සදහාද යන්නයි.

එම අවස්ථාවේ වෙනත් පුද්ගලයන් හන්ද්‍ය්නුම් පත් නොබලාම ඇතුල් කරනු වීඩියෝවේ දැකගත හැකිය.

” අයි. ඩී මොකටද කියන්න මට බැන්ක් එක ඇතුලට යන්න අයි.ඩී ඕනේද? මිස් කාටහරි බෑන්ක් එක ඇතුලට යන්න අයි.ඩී පෙන්නන්න ඕනේද? මෙතන තියන ප්‍රශ්නය චෙක් එකක් මාරු කරනවානම් අයි.ඩී පෙන්නන්න පුළුවන්. අයි.ඩී පෙන්නන්න ඕනේ නෑ. මුණ ඇරලා තියෙන්නේ මොකටද අයි.ඩී පෙන්නන්න ඕනේ කියන්න ”

අනතුරුව සම්පත් බැංකුවේ ලාංජනය සහිත ටී ෂර්ට් එකක් ඇද සිටින බැංකු නිලධාරියකු දැනුම් දෙන්නේ එම මුස්ලිම් කාන්තාවට බැංකුව තුලට ඇතුල් වීමට ඉඩ ලබා දිය හැකි බවයි.

දෙහිවල පිහිටි සම්පත් බැංකුවේ ශාඛාව තුලදී මුස්ලිම් කාන්තාවක් පැය දෙකකට අධික කාලයක් බැංකුව තුළට නොගෙන පීඩාවට පත් කිරීමෙන් අනතුරුව සම්පත් බැංකුව විසින් “විශේෂ නිවේදනයයි” යන ශිර්ෂයෙන් යුතුව නිකුත් කර තිබෙන දැන්වීමකින් පවසා ඇත්තේ “අනන්‍යතාව තහවුරු කරගැනීම සම්බන්ධ ව ඇතිවූ ගැටලුකාරී තත්වය” පිළිබඳව කනගාටුව පල කරන බවය. එහෙත් ගැටලුව කුමක්ද යන්න පිළිබඳ නිසි පැහැදිලි කිරීමකින් තොරවය.

“අද දින (ජුලි 02) දෙහිවල සම්පත් බැංකු පරිශ්‍රයේදී පාරිභෝගිකයකුගේ අනන්‍යතාව තහවුරු කරගැනීම සම්බන්ධව ඇති වු ගැටළුකාරී තත්ත්වය හේතුවෙන් අදාල පාර්ශ්වයන්ට කිසියම් අපහසුතාවක් සිදු වී නම් ඒ පිළිබද ව අපගේ කණගාටුව පළ කරමු. මෙම සිද්ධිය සම්බන්ධව ගත යුතු ඉදිරි පියවර බැංකුව විසින් ඉක්මණින්ම ගනු ඇත.” එම නිවේදනයේ භාෂා ත්‍රිත්වයෙන්ම සදහන්ව තිබේ.

Comments are closed.