එක්සත් ජාතීන් කෝටි අටක් දීලත් ලංකාවේ සිසුන්ට කන්න නෑ

පාසල් ළමුන් සදහා පෝෂණ මල්ලක් ලබා දීමට එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන යටතේ රුපියල් කෝටි අටක් ලබා දී තිබුනද , පාසල් ආරම්භයේදී දරුවන් වෙනුවෙන් දිවා ආහාර වැඩසටහන ක්‍රියාත්මක කිරීම සදහා අධ්‍යාපන බලධාරීන් මේ දක්වා කිසිදු වැඩ පිළිවෙලක් සකසා නොමැති බවට දිවයිනේ ප්‍රමුඛතම ගුරු සංගමයක් චෝදනා කරයි.

කොරෝනා වසංගත තත්වය හමුවේ මෙරට පාසල් වසා දැමීමට පෙර රජයේ පාසල් 7000 ක පමණ ප‍්‍රාථමික ශ්‍රේණි දරුවන් සඳහා දිවා ආහාර වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක වු බවයි ලංකා ගුරු සංගමය පවසන්නේ.

කෝවිඞ් 19 වසංගත තත්වය තුළ සෞඛ්‍ය නිර්දේශ අනුව පාසල් දරුවන්ගේ දිවා ආහාර වෙනුවට පෝෂණ මල්ලක් ලබාදීමට තීරණය කළ බව පෙන්වා දෙන ලංකා ගුරු සංගමය අවධාරණය කරන්නේ 2020 මැයි මාසයේදී එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන යටතේ පාසල් ළමුන්ට පෝෂණ මල්ලක් ලබාදීමට රුපියල් මිලියන 80 ක් ලබා දී ඇති බවයි.

පාසල් ආරම්භ කිරීමෙන් පසු පාසල තුළ දී මුඛ ආවරණ පැළදිය යුතු නැති බවට හා උණ පරීක්ෂණ කිරීම නොකළ යුතු බවට සෞඛ්‍ය අංශ විසින් ප‍්‍රකාශ කර ඇති තත්වයක් තුළ පාසල් දිවා ආහාර වැඩසටහන යටතේ දරුවන්ට දිවා ආහාරය ලබාදීම සම්බන්ධයෙන් ද නැවත සලකා බැලීමක් සිදු කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ද ලංකා ගුරු සංගමය වැඩිදුරටත් ඉල්ලා තිබේ.

2020 ජූලි 06 දින සිට 5,11,13 ශ්‍රේණි සඳහා පාසල් අධ්‍යයන කටයුතු ආරම්භ වූ අතර, 3,4,6,7,8,9 ශ්‍රේණි ජූලි 27 දිනත්, 1 සහ 2 ශ්‍රේණි අගෝස්තු 10 දිනත් ආරම්භ වීමට නියමිතව තිබේ.

5 ශ්‍රේණිය මේ වන විටත් ආරම්භ කර තිබෙන බව පෙන්වා දෙන ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් අවධාරණය කරන්නේ දුෂ්කර ප‍්‍රදේශවල පාසල් දරුවන්ගේ පෝෂණ තත්වය නගා සිටුවීමට ලබාදුන් දිවා ආහාර වේලද මේ වන විට ඔවුන්ට අහිමිව ඇති බවයි.

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මාස 3 ක පමණ කාලයක් පාසල් වසා තිබියදී ඒ සම්බන්ධයෙන් ක‍්‍රමවේදයක් සැකසීමට හැකියාව තිබූ නමුත් අධ්‍යාපන අමාත්‍යාංශය එවැනි ක‍්‍රමවේදයක් සැකසීමට කටයුතු කර නොමැතිවීම බරපතල කනගාටුදායක තත්වයක් බව ගුරු සංගම් නායකයා වැඩි දුරටත් සදහන් කරයි.

ලංකා ගුරු සංගමය ජුනි 7 අගහරුවාදා නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් මගින් අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලා ඇත්තේ ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර සුදුසු ක‍්‍රමවේදයක් යටතේ පාසල් දිවා ආහාර වැඩසටහන වහා ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදන ලෙසයි.

Comments are closed.