කෝවිඩ් 19 රෝගියකු වැලිකඩින් හමුවීම සමග සිරකාර මනුෂ්‍යයන් බියෙන්

වැලිකඩ බන්ධනාගාරය තුල කෝවිඩ් 19 රෝගියකු හමුවීමත් සමග සීමිත ඉඩක් තුළ රැඳවියන් විශාල පිරිසක් රදවා සිටින සිරගෙවල් තුළ වසංගත තත්වය ඉතා සීග්‍රයෙන් පැතිර යාමේ අවදානම පිළිබඳව බිය පලවෙමින් පවතී.
සිරකරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ප්‍රමුඛතම සංවිධානයක් පවසන පරිදි රැඳවියන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් මීට මාස කිහිපයකට ඉහතදී ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ යෝජනා වලට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැත.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැවගේ අත්සනින් යුතුව ජුලි 7 අඟහරුවාදා නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනයක සදහන්ව තිබුනේ වැලිකඩ බන්ධනාගාරයේ රැදවියකුට කොවිඩ් 19 ආසාදිත බව තහවුරු කරගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ විසින් දන්වා ඇති බවයි.

රෝගී රැඳවියා කන්දකාඩුවෙහි පිහිටි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ සිට ජුනි 27 වැනි දින වැලිකඩ බන්ධනාගාරය වෙත මාරු කර එවන ලද්දෙක් බව එහි වැඩි දුරටත් සදහන්ව තිබුනි.

වෛරසය පාලනය කිරීම වෙනුවෙන් අවම වශයෙන් දෙදෙනකු අතර මීටරයක පරතරයක් පවත්වා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ බලධාරීන් ජනතාවට උපදෙස් ලබා දී තිබුනද බන්ධනාගාර තුළ අඟලක පරතරයක්වත් පවත්වා ගැනීමේ හැකියාවක් නොමැති බවයි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසන්නේ.

කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා මාධ්‍යවේදීන් හා කියා ඇත්තේ බන්ධනාගාර තුළ කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මාර්තු 16 වනදා ජනාධිපතිවරයාට යෝජනා මාලාවක් ඉදිරිපත් කළත් එයට නිසි ප්‍රතිචාරයක් නොලැබුන බවයි.

සිරකාර අයිතිවාසිකම් කමිටු යෝජනා
ශ්‍රී ලංකාව තුලදී කොරෝනා වෛරස් ආසාදිතයන් වාර්තාවීමට පටන් ගැනීමත් සමග එය බන්ධනාගාර තුලට ව්‍යාප්ත වුවහොත් ඇති විය හැකි භයානක තත්වය පිළිබඳව බලධාරීන්ට අනතුරු අඟවමින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව බන්ධනාගාර තුළ පවතින අධික තදබදයට විසඳුමක් ලෙස ආණ්ඩුවට යෝජනා කර තිබුනේ සුළු වැරදිවලට සිරගතවූවන් සහ දඩ ගෙවා ගැනීමට නොහැකිව රඳවාගෙන සිටින්නන් කොන්දේසි මත හෝ නිදහස් කරන ලෙසයි.

එමෙන්ම වයස්ගත සහ දැඩි ලෙස රෝගී තත්වයන්ගෙන් පෙලෙන රැඳවියන් නිදහස් කිරීම වෙනුවෙන් ඇති නීතිමය ප්‍රතිපාදනත් එම කමිටුව විසින් ආණ්ඩුවේ බලධාරීන්ට පෙන්වා දී තිබුනි.

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පසුගිය කාලය පුරා රජයට අවධාරණය කර තිබුනේ සමාලෝචන ක්‍රියාවලිය නිසි අයුරින් ක්‍රියාත්මක කිරීම තුළ බන්ධනාගාර වල පවතින අධික තදබදය අවම කර ගත හැකි බවයි.
ඇප ලබාදිය හැකි රැඳවියන් කිහිපදෙනකු පසුගිය කාලයේදී නිදහස් කළද බන්ධනාගාර තුළ පවතින අධික තදබදය අඩුවීමට එම ප්‍රමාණය ප්‍රමාණවත් නොවු බව සිරකරු අයිතිවාසිකම් සුරකීමේ කමිටුවේ අදහසයි.

කොරෝනා රෝගියකු බවට සැක කොට අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව බියට පත් එම බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් නිදහස ඉල්ලා මාර්තු මාසයේදී උද්ඝෝෂණයක් දියත් කළ මොහොතේ බන්ධනාගාර නිලධාරීන් වෙඩි තැබීමෙන් දෙදෙනෙක් මරුමුවට පත්විය.

මුළු දිවයිනටම ඇඳිරි නීතිය දමා ඇති අවස්ථාවක රැඳවියන් විසින් තමන්ගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් පවත්වන ලද උද්ඝෝෂණයට වෙඩි තැබූවේ “විරෝධතාව පාලනය කිරීමට” ගිය බන්ධනාගාර නිලධාරීන් බව පොලිසිය විසින් පසුව තහවුරු කර තිබුනි.
සිරකරුවන් මෙම සමාජයේ කොටසක් සේ නොසලකා කටයුතු කිරීමේ තත්වයක් පසුගිය කාලය පුරා දැක ගත හැකි වු බවට කනගාටුව පලකරන සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති සේනක පෙරේරා රජයේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ බන්ධනාගාර තුළ කොරෝනා වෛරසය පැතිරීම වැලැක්වීම වෙනුවෙන් කටයුතු කරන්නා සේම සිරකරුවන්ද මනුෂ්‍යයන් සේ සලකා කටයුතු කරන ලෙසයි.
දැඩි පීඩාවක් හා මර්දනයක් ඉකුත් ජුනි මාසයේදී සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව කොළඹදී සංවිධානය කර තිබු මාධ්‍ය හමුවකදී මානව හිමිකම් ක්‍රියාධර රුකී ප්‍රනාන්දු පෙන්වා දී තිබුනේ ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළ ඉඩ පහසුකම් ඇත්තේ දස දහසක් පමණ වු පිරිසකට වුවත් මේ වන විට එහි විසි හය දහසක් පමණ සිටින බවයි.

එතරම් විශාල පිරිසක් කුඩා ඉඩ කඩක් තුළ අවම පහසුකම් යටතේ සිටින විට ඔවුන් දැඩි පීඩාවකට හා මර්දනයකට ලක් වන බව රුකී ප්‍රනාන්දු එම මාධ්‍ය හමුවේදී අවධාරණය කර තිබුනි.

ඔහු පවසන පරිදි ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුලට ඇතුල් වන ඇති මහත් බහුතරය සැක කරුවන්ය.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ 2018 වසරේ සංඛාලේඛන අනුව බන්ධනාගාරගතවු පිරිසෙන් සියයට අසු එකකටත් වඩා වැඩි පිරිසක් උසාවියෙන් දඬුවම් නොකරන ලද හුදු සැකකරුවන් පමණක් බව රුකී ප්‍රනාන්දු එහිදී පෙන්වා දී තිබුනි.
එමෙන්ම අධිකරණයෙන් දඩුවම් නියම වී සිරගෙදරට නියම වන පිරිසෙන් සියයට හැටකටත් වඩා බන්ධගාගාර ගත වීමට සිදුව ඇත්තේ දඩ ගෙවා ගැනීමට නොහැකි විමෙනි.

Comments are closed.