දෙමළ අම්මාවරුන්ගේ අතුරුදහන් දරුවන් සොයාගැනීමට සිංහලයන්ට ආයාචනයක්

ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන දවස්වලදී රජයේ සන්නද්ධ සේනා විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු අතුරුදහන් සිය නෑසියන් සොයාගැනීම සඳහා එකොලොස් අවුරුද්දක් තිස්සේ දරන ලද උත්සාහය පල දරා නැති දෙමළ අම්මාවරුන් දකුණේ වාසීන්ට ආයාචනයක් කර තිබේ.

රජයට භාරදුන් තම දරුවන්ගේ ඉරණම හෙළි කරගැනීමට සටන් වැදී සිටින මාතාවක් උතුරු නැගෙනහිර පුරා වීදියේ දියත් කරන ලද අඛණ්ඩ උද්ඝෝෂණයට දින 1200ක් පිරෙද්දී ලියන ලද සංදේශයකින් සත්‍යය හා යුක්තිය සොයා යන ගමනේදී දෙමළ යුද පීඩිතයන්ට උදව් වන ලෙස ඉල්ලා ඇත්තේ මධ්‍යස්ථ, ප්‍රගතිශීලී, සමාජ ක්‍රියාධර සහ මාධ්‍යවේදී සිංහලයන්ගෙනි.

අප වෙත පිටපතක් ලැබී ඇති එම හැඟුම්බර දෙමළ ලිපිය ලියූ උතුරේ ක්‍රියාධාරිනියගේ නම ඇගේ ආරක්ෂාව සලකා පල නොකෙරේ.

වෛරක්කාර ප්‍රතිපත්තිය

දිගටම පැවති ආණ්ඩු විසින් පවත්වාගෙන යන වෛරක්කාර ප්‍රතිපත්තියට එරෙහිව නැගී සිටීම වෙනුවෙන් දෙමළ ජනතාවට එරෙහිව එදා මෙදාතුර කරන ලද සාපරාධී අකටයුතුකම් පිළිබඳ සත්‍යය හෙළි කිරීම මගින් සිංහලයන්ගේ හෘද සාක්ෂිය අවුළුවා ලන ලෙස ඇගේ සංදේශය ඉල්ලා සිටී.

“එවැනි ක්‍රියාකාරකම් ඔස්සේ අප සහෝදරයන් සේ පිළිගැනීම මගින්, අප වෙනුවෙන් ඉදිරියට පැමිණ සටන් කිරීමට සුදුසු වාතාවරණයක් සකස් කළ යුතුයි,” යනුවෙන් එහි ලියා තිබේ.

ඇගේ ආයාචනය ඉදිරිපත් කර ඇත්තේ අතුරුදහන් කිරීම් ඇතුළු යුද්ධය හා සම්බන්ධ අපරාධ පිළිබඳව යුක්තිය සලසා දීමට එක්සත් ජාතීන් හමුවේ ඇතිකරගත් එකඟතා ඉටු කිරීමට සුදානම් නැති බව ශ්‍රී ලංකාවේ ආණ්ඩුව විසින් ජිනීවා නුවරදී ප්‍රකාශයට පත් කර මාස කීපයක් ගතවෙද්දීය.

යුද්ධයෙන් පසුව ගතවූ එකොලොස් වසර ඇතුලත පැවති කිසිම ආණ්ඩුවක් අතුරුදහන් කිසිවකුගේ හෝ ඉරණම හෙළි කර ඥාතීන්ට සැනසිල්ලක් ලබා දී නැත. තම ආදරණීයයන් සොයා ගැනීම සඳහා තුන් වසරකට වැඩි කාලයක් දිවෙන අඛණ්ඩ උද්ඝෝෂණයේ යෙදී සිටියදී මියගිය අතුරුදහන් වූවන්ගේ ඥාතීන් සංඛ්‍යාව හැත්තෑවකට ආසන්නය.

වර්තමාන ජනාධිපතිවරයා මෙන්ම පසුගිය ආණ්ඩුව ද ප්‍රකාශ කර ඇත්තේ ඔවුන් මියගියේ යැයි පිළිගන්නා ලෙසයි.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය සම්මත කරගත් 30/1 ගිවිසුමට හවුල්වූ පසුගිය රජය විසින් අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP) පාර්ලිමේන්තු පනතක් මගින් 2017 දී පිහිටුවන ලද්දේ අතුරුදහන් වුවන් පිළිබඳ සත්‍යය විමර්ශනයෙන් හෙළිකර ගැනීම සඳහාය.

දේශීය විමර්ශන පවත්වන බවට “ජාත්‍යන්තර ප්‍රජාව රවටාලීම” අරමුණු කොටගෙන OMP කාර්යාලය පිහිටුවන ලදැයි දෙමළ මාතාව තම ලිපියෙන් චෝදනා කරයි. ජාත්‍යන්තර විමර්ශනයකින් තොරව සිය සමීපතමයන්ගේ ඉරණම හෙළි කර ගත නොහැකි බව ඇගේ තිරසාර විශ්වාසයයි.

OMP කාර්යාලය කෙරෙහි කිසිදු විශ්වාසයක් තමන් තුල නැතැයි පවසන ඥාතීන් පෙන්වා දෙන්නේ තමන් විසින් නම් ලබා දී ඇති හමුදා භාරයට පත් පස් දෙනකුගේ විස්තර හොයා දීමටවත් එම කාර්යාලය සමත් වී නැති බවයි.

කවුදෝ දන්නේ

“වර්තමාන පාලකයෝ අපේ දරුවන්ට අත්වූ ඉරණම දනිති,” යි දෙමළ මාතාව සිය ලිපියේ පවසයි.

“අතුරුදහන් පුද්ගලයන්ට සිදුවූ දේ කීමට ජාත්‍යන්තර ප්‍රජාව ඔවුන්ට බලකළ යුතුයි. එසේ නැතිනම්, ඔවුන්ම පැමිණ සත්‍යය හෙළිකර දිය යුතුයි.”

යුක්තිය සලසා දීම සඳහා කිසිවක් නොකළ බවට දෙමළ දේශපාලන පක්ෂද ලිපියේ දෝෂ දර්ශනයට ලක්වී තිබේ.

රජයේ හමුදා අතින් දෙමළ පොදු මහජනතාවට යුද සමයේ හෝ ඉන් පසුව හෝ අකටයුතුකම් සිදුවූයේයැයි පිළිගනු වෙනුවට, යුද්ධය යනු “දෙමළ ජනතාව ත්‍රස්තවාදීන්ගෙන් මුදාගත් මානුෂික මෙහෙයුමක්” බව පුන පුනා තහවුරු කිරීමේ කාරියේ නිරත සිංහල ජනමාධ්‍ය, දෙමළ මවක් කරන ආයාචනයට කන් දෙනු ඇතිදැයි කාලයාටවත් තීරණය කළ හැකිද යන්න සැක සහිතය.

– සිවා පරමේශ්වරන්

Comments are closed.