ජනපතිගේ අත්සන සහිත කූඨ ලේඛන සැකසු සැකකරු රිමාන්ඩ්

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ අත්සන මා ලිපි ශීර්ෂ ව්‍යාජ ලෙස යොදා ගනිමින් කූඨ ලේඛන සැකසීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු, ලබන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය සදහන් කරයි.

ලංකාබැංකු මූලස්ථානයේ ප්‍රධාන කළමනාකරු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳ විමර්ශණ ආරම්භ කර තිබුනි.

‘වැඩතහනමකට ලක්ව ඇති ලංකා බැංකු සේවකයෙක් යළි සේවයේ පිහිටුවීම’ යන මාතෘකාව යටතේ ජනාධිපතිතුමාගේ ලිපි ශීර්ෂයක ජනාධිපතිතුමාගේ අත්සනද සහිත ලිපියක් පසුගිය මැයි මස 28වනා හෝ ඊට ආසන්න දිනකදී ලංකා බැංකු සභාපතිවරයා වෙත ලැබී ඇත. කෙසේ නමුත් අදාළ ලිපිය සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත මේ සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ කර තිබේ.

ඒ අනුව ඊයේ(03) සවස කොළඹ වංචා විමර්ෂණ කාර්යංශය මගින් එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්වේ. අනතුරුව සැකකරු වැඩිදුර විමර්ශණ සදහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබේ.

අත්අඩංගුවට ගත් 37 හැවිරිදි කුරුණෑගල පදිංචි සැකකරු (04) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ලබන 08වනදා තෙක් රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.

Comments are closed.