නවතම කාර්ය සාධක බලකායට දෙස් විදෙස් විරෝධය

ජනාධිපතිවරයා විසින් අලුතින්ම පිහිටුවන ලද ජනාධිපති කාර්යසාධක බලකාය දෙකක් ප්‍රජාතන්ත්‍ර විරෝධී හා ඒකාධිපතිවාදී ආයතන බවට දේශීය හා ජාත්‍යන්තර වශයෙන් විරෝධය එල්ල වී තිබේ.

“සුරක්ෂිත රටක් හා විනය ගරුක, ගුණගරුක සහ නීතිගරුක සමාජයක් බිහි කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය” සහ “නැගෙනහිර පළාතේ පුරා විද්‍යාත්මක උරුම කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය” ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දරගේ අත්සනින් යුත් අතිවිශේෂ ගැසට් නිවේදන දෙකක් මගින් ප්‍රකාශයට පත් කරන ලද්දේ ජූනි 2 දාය.

මුළුමනින්ම හමුදා පොලිස් ප්‍රධානීන්ගෙන් සමන්විත පළමු ජනාධිපති කාර්යසාධක බලකාය නීතියේ ආධිපත්‍යයට තර්ජනයක් ලෙස හෙළා දකින ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම (ICJ) එය නිසි නෛතික පදනමක් මත පිහිටුවන ලද්දේ දැයි සැක පළ කරයි.

“මෙම ජනාධිපති කාර්ය සාධක බලකාය පිහිටුවීම, කෝවිඩ් 19 වසංගතය වාසියට ගෙන සිය බලය තවත් ව්‍යාප්ත කිරීම සඳහා රජයක් විසින් ආධිපත්‍යය පැතිරවීමේ තවත් එක් ක්‍රියාවක්,” බවයි ICJ හි ආසියා පැසිෆික් කලාප අධ්‍යක්ෂ ෆෙඩ්‍රික් රව්ස්කි පවසන්නේ.

නීතියේ ආධිපත්‍ය පිළිබඳ මූලධර්ම සහ ව්‍යවස්ථාව ඇතුළු අදාල නීති මගින් සිවිල් අධිකාරීන් සඳහා වෙන් කර තැබූ බලතල සහ කාර්යයන් පැහැර ගැනීමට මෙම කාර්යසාධක බලකායට හැකියාව ඇති බව ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම අනතුරු අඟවයි.

ප්‍රජාතාන්ත්‍රීය පාලනයේ සහ නීතියේ ආධිපත්‍ය මූලධර්ම වලට අනුකූලව සිවිල් පරිපාලන කටයුතු, තෝරා පත්කරගනු ලැබූ සහ මහජන නිලධාරීන් විසින් ක්‍රියාත්මක කළ යුතු අතර, පොදු ජනතාවගේ ජීවිත තුළ හමුදාවේ භූමිකාව සීමා කළ යුතු බව පෙන්වා දෙන ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම ජනාධිපති කාර්යසාධක බලකාය පිහිටුවමින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රය අවලංගු කරන ලෙස ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

දේශීය විරෝධය

“සුරක්ෂිත රටක් හා විනය ගරුක, ගුණගරුක සහ නීතිගරුක සමාජයක් බිහි කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය” සහ “නැගෙනහිර පළාතේ පුරා විද්‍යාත්මක උරුම කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය” සම්බන්ධයෙන් ලංකාව තුළ සමානාත්මතාවය හා සහන සඳහා ජනතාව (PEARL) සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA ) යන සිවිල් සංවිධාන විසින්ද සිය විරෝධය පළ කර තිබේ.

මාස තුනකට වැඩි කාලයක් පාර්ලිමේන්තුව විසුරුවා තිබියදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ගන්නා ලද මෙම පියවර, ඒකාධිපති පාලනයක් සහ හමුදාකරණයක් කරා ගමන් කිරීමේ ප්‍රවණතා පෙන්නුම් කරන බවයි විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය පවසන්නේ.

එම සංවිධානය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ එය ශ්‍රී ලංකාව තුළ ප්‍රතිසන්ධානය සහ ව්‍යවස්ථාමය ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල බලපෑම් එල්ල කරන බවයි.

“සුරක්ෂිත රටක්, විනය ගරුක, ගුණගරුක සහ නීතිගරුක සමාජයක් බිහි කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායෙහි” කාර්යභාරයන් ලෙස දක්වා ඇති ‘සමාජ විරෝධී ක්‍රියා’ මොනවාදැයි පැහැදිළි නෛතික අර්ථයක් නොමැති වීම තුළ, එවැනි කටයුතු සදහා කාර්ය සාධක බලකාය පියවර ගන්නේ කෙසේදැයි යන්න ගැටළුවක් බව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය අවධාරණය කරයි.

එසේම “වැඩිවශයෙන්ම, මෙම කාර්ය සාධක බලකායන් ට කැබිනට් අමාත්‍යවරුන්ගේ භූමිකාව නොසලකමින්, රාජ්‍ය සේවයට සෘජු නියෝග, උපදෙස් දීමට හැකියාව ලැබීම මගින්, දැනට බලපවත්නා ආයතන වලට සමාන්තර ව්‍යුහයක් ලෙස ක්‍රියාත්මක වීම ගැටළුකාරී ලෙස CPA සළකයි,” යනුවෙන් එම නිවේදනය මගින් වැඩි දුරටත් අවධාරණය කර තිබේ.

ඩයස්පෝරාව

ජනාධිපතිවරයා විසින් පිහිටුවා ඇති නව කාර්ය සාධක බලකා මගින්, මානව හිමිකම් සංවිධාන, දමිළ සිවිල් සංවිධාන කණ්ඩායම් සහ දේශපාලන ක්‍රියාධරයන්ට එරෙහිව මේ වන විටත් දමා ඇති සීමා තවදුරටත් දැඩි කිරීමට ලංකාණ්ඩුව කටයුතු කරනු ඇතැයි බිය පළ කරන ලංකාව තුළ සමානාත්මතාවය හා සහන සඳහා ජනතාව සංවිධානය (PEARL) තවදුරටත් පෙන්වා දෙන්නේ වෙනත් රටවල ඉන්නා පුද්ගලයන් සම්බන්ධයෙන්ද පියවර ගැනීමට මෙම බලකායට බලය ලබා දීම තුළින්, ඩයස්පෝරාව තුළ සිටින දමිළ ජනතාවද ඉලක්ක කර ගැනීමට එයට හැකියාවක් ලැබෙන බවයි.

අනෙක් අතට මෙකී නැගෙනහිර පළාතේ පුරා විද්‍යාත්මක උරුම කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය තුළ හමුදා නිලධාරීන්ට අමතරව එක් ආගමකට අයත් පැවිද්දන් පමණක් ඇතුලත් කිරීම තුළින් පළාතේ පවත්නා බහු වාර්ගික අනන්‍යතාවය හිතාමතාම අවතක්සේරු කර ඇති බවට විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය චෝදනා කරයි.

“පුල්මුඩෛ සිංහලකරණය කිරීමට උත්සාහ දැරූ පනාමුරේ තිලකවංශ හිමි වැනි බෞද්ධ අන්තවාදීන් කිහිප දෙනෙකුම ඇතුලත් වන, හුදෙක් සිංහල නියෝජනයකින් පමණක් සමන්විත වන මෙම බලකාය” විසින් අවිවාදිතවම, සිංහල-බෞද්ධ ‘ඓතිහාසික ස්ථාන’ හදුනාගැනීම සහ ආරක්ෂා කිරීම යන්න දෙමළ සහ මුස්ලිම් වාසභූමි ප්‍රදේශ යට කර දැමීමේ ව්‍යාපෘතියේ තවත් දිගුවක් ලෙස ක්‍රියා කරනු ඇති බව ලංකාව තුළ සමානාත්මතාවය හා සහන සඳහා ජනතාව සංවිධානය විසින් නිකුත් කළ නිවේදනයක වැඩි දුරටත් සදහන්ය.

මෙම ප්‍රදේශය තුළ ජනපදකරණය සහ ඉඩම් අත්පත් කරගැනීම මගින් ඡන්ද නියෝජනය, සහජීවනය සහ ප්‍රතිසන්ධානයට බලපෑම් කරමින් එහි ජන සංයුතිය වෙනස් කිරීමේ උත්සාහයන් තමන් නිරීක්ෂණය කර ඇති බව පෙන්වා දෙන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය , ශ්‍රී ලංකාවේ අතීතය සමග සළකා බැලීමේදී මෙවැනි කාර්යසාධක බලකායන් හි අවශ්‍යතාවය, අරමුණ සහ අනාගත ප්‍රතිවාපාක සම්බන්ධයෙන් ගැටළු මතුවන බව අවධාරණය කර තිබේ.

ජනාධිපතිවරයා විසින් යළිත් වරක් යුද අපරාධ චෝදනා සහිත වූවන් මෙම කාර්යසාධක බලකායට බදවා ගැනීම තුළින් දෙමළ ජනයාට එරෙහි සාපරාධී ක්‍රියාවන් සම්බන්ධයෙන් වගවීම සඳහා නැගෙන ජාත්‍යන්තර ඉල්ලීම මුළුමනින්ම නොසලකා හැර ඇති බව ප්‍රකාශ කරන PEARL විධායක අධ්‍යක්ෂ ටාෂා මනෝරන්ජන් චෝදනා කරන්නේ “රාජපක්ෂගේ නව ජනාධිපති කාර්යසාධක බලකාය, දැනට පවත්නා හමුදාකරණය සහ දමිළ ජනතාව බහුතරව වාසය කරන උතුරු නැගෙනහිර රාජ්‍ය අනුග්‍රහය යටතේ ජනපදකරණය තවත් උග්‍ර කරනු ඇති අතර එය කලාපයේ ආතතිය හා අස්ථාවරත්වය තවදුරටත් වර්ධනය කරනු ඇති,” බවටයි.

ශ්‍රී ලංකාව තුළ ප්‍රතිසංස්කරණ සඳහා වන බලාපොරොත්තු තවදුරටත් කඩවී ඇති තත්වයක් යටතේ ජාත්‍යන්තර ප්‍රජාව විසින් තීරණාත්මක පියවර ගනිමින් තව තවත් හමුදාකරණය වන ශ්‍රී ලංකා රාජ්‍යයට සහය දැක්වීම නැවැත්විය යුතු බව ප්‍රකාශ කරන එම සංවිධානය තවදුරටත් පෙන්වා දෙන්නේ, එසේ නොමැති නම් ශ්‍රී ලංකාවේ ඛේදනීය අතීතය නැවත නැවතත් ප්‍රතිනිර්මාණය වනු ඇති බවයි.

වෘත්තීය සමිති විරෝධය

රාජ්‍ය අංශයට අදාල දිවයිනේ ප්‍රධාන වෘත්තීය සමිති තුනක් ද ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයාගේ නව කාර්ය සාධක බලකාය සම්බන්ධයෙන් විරෝධය පළ කර තිබේ.

“රාජ්‍ය සේවය පාලනයට අදාළව බලධූරාවලියක්, නීති රීති, අණ පනත් හා චක‍්‍රලේඛ පවතින අතර, රාජ්‍ය සේවය ක්‍රියාත්මක වන්නේ ඒ අනුවය. ඊට පරිබාහිරව මුළුමනින්ම ආරක්ෂක අංශ සාමාජිකත්වයකින් යුත් උක්ත කාර්ය සාධක බලකායට රාජ්‍ය සේවය සම්බන්ධයෙන් අසීමිත බලයක් ලබාදීම රාජ්‍ය සේවයේ ස්වාධීනත්වයට සිදුකරන බරපතල තර්ජනයකි.”

ඒ අනුව කාර්ය සාධක බලකායේ නියෝජනය පිළිබඳ අවධානය යොමු කර, එමගින් රාජ්‍ය සේවයේ ස්වාධීනත්වයට බලපෑම් එල්ලවීම වැලැක්වීමට කටයුතු යොදන ලෙස ලංකා ගුරු සංගමය, ශ්‍රී ලංකා තැපැල් හා විදුලි සංදේශ සේවා සංගමය සහ පළාත් රාජ්‍ය කළමනාකරණ සේවා සංගමය විසින් ජුනි 8 දිනැති ඒකාබද්ධ මාධ්‍ය නිවේදනය මඟින් ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලා තිබේ.

Comments are closed.