මාස තුනකට ආසන්න කාලයක් වසා දමා තිබූ පාසල් යළි විවෘත කිරීම මෙම මස 29 වැනිදා සිට …

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මාස තුනකට ආසන්න කාලයක් වසා දමා තිබූ පාසල් යළි විවෘත කිරීම මෙම මස 29 වැනිදා සිට අදියර 4ක් යටතේ සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

‍ජූනි 29 වැනිදා පාසල් විවෘත කෙරෙන්නේ ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට පමණක් වන අතර සිසුන් වෙනුවෙන් පාසල් විවෘත කෙරෙන්නේ ජූලි 6 වැනිදා සිට බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම වසරේදී අ.පො.ස උසස් පෙළ, සාමාන්‍ය පෙළ හා ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් පළමු අදිය‍ර යටතේ ජූලි 6 වැනිදා පාසල් විවෘත කෙරෙන අතර අනෙකුත් දරුවන් සඳහා ඉන්පසු අදියරෙන් අදියර පාසල් විවෘත කෙරෙන බව ඇමතිවරයා කීවේය.

කොවිඩ් 19 වසංගතය පැතිර යාම හේතුවෙන් ඉකුත් මාර්තු 15 වැනිදා පාසල් වසාදමනු ලැබූ අතර යළි විවෘත කිරීමට තීරණය කළ ඊයේ (09) වනවිට පාසල් වසා දමා දින 100 ක් ගතව තිබිණි.

ජුනි 29 වැනිදා පාසල් ආරම්භ වන දිනයේ විදුහල්පතිවරුන්, ගුරුවරුන් හා අනධ්‍යයන සේවකයින් සියලු දෙනා පාසල්වලට පැමිණිය යුතු අතර දරුවන්ට පැමිණීම සඳහා පාසල් විෂබීජහරණය කර සකස් කිරීම ඔවුන් විසින් සිදුකරනු ඇතැයි ද අධ්‍යාපන අමාත්‍යාංශයේ අද (10) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

දෙවැනි අදියර ජූලි 6 වැනිදා ආරම්භ වන අතර 5, 11, 13 යන ශ්‍රේණිවල දරුවන් පමණක් පාසලට ගෙන්වීමට නියමිත බව ද අමාත්‍යවරයා කීය.

ජූලි 17 වැනිදා තෙවැනි අදියර ඇරඹෙන අතර, 10 හා 12 ශ්‍රේණිවල සිසුන් පමණක් ගෙන්වීමට නියමිතය.

සිව්වැනි අදියර ජූලි 27 වැනිදා ආරම්භ වන්නේ 3 සිට 9 දක්වා වසරවල සිසුන් සඳහා පාසල විවෘත කරමින් බව කී අමාත්‍යවරයා පස්වැනි පියවර වශයෙන් පසුව 1 සහ 2 යන ශ්‍රේණිවල සිසුන් පාසල්වලට කැඳවන බවත් කීය.

සියලුම පාසල් පෙරවරු 7.30 ට ආරම්භ වන අතර 10, 11, 12, 13 යන ශ්‍රේණිවල සිසුන්ට පස්වරු 3.30 වනතුරු පන්ති පැවැත්වෙන බවත් 6, 7, 8, 9 පන්තිවල සිසුන් පස්වරු 1.30 දක්වාද, 5 වසර සිසුන්ට දහවල් 12 දක්වාද, 3 සහ 4 වසරවල දරුවන් සඳහා පෙරවරු 11.30 දක්වාද පන්ති පැවැත්වීමට නියමිත බව ද අමාත්‍යවරයා කීය.

මේ අතර අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබු 2020 උසස් පෙළ විභාගය සැප්තැම්බර් 7 වැනිදා සිට ඔක්තෝබර් 2 වැනිදා දක්වා පැවැත්වීමට තීරණය කර ඇතැයි ද අමාත්‍යවරයා පැවැසීය.

5 වසර ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් 13 වන ඉරිදා පැවැත්වීමට තීරණය කර ඇති බව ද හෙතෙම සඳහන් කළේය.

මෙවර උසස් පෙළ විභාගය සඳහා සිසුන් 3,66,783 දෙනෙකු පෙනී සිටීමට නියමිත අතර 5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා සිසුන් 3,34,381 දෙනෙකු පෙනී සිටීමට නියමිතය.

ඔහු මේ බව පැවසුවේ එම අමාත්‍යාංශයේදී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමිනි.

Comments are closed.