රට විරුවන්ගෙන් ශ්‍රී ලංකාවට ඩොලර් කෝටි හැට හතක්

සම්ප්‍රදායික අපනයන ආදායම් පසුබස්වමින් ශ්‍රී ලංකාවට විදේශ මුදල් උපයා දෙන ප්‍රධානතම මාර්ගය “රට විරුවන් ලෙසින් ” විරුදාවලි ලත් විදේශ සේවා නියුක්තිකයන් බව මහබැංකු වාර්තා වලින් හෙළි වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාලේඛන ඇසුරින් අගනුවර පර්යේෂණ ආයතනයක් විසින් අනාවරණය කර ඇති පරිදි ගිය අවුරුද්දේ විදෙස් ගත ශ්‍රමිකයන් මෙරටට උපයා දී ඇති මුදල සමස්ත විදේශ විනිමයෙන් භාගයකටත් වැඩි වන ඇමරිකානු ඩොලර් කෝටි හැට හතකි. එය ආසන්න වශයෙන් රුපියල් කෝටි එක්ලක්ෂ විසි පන්දහසකට ආසන්න මුදලකි.

එම වාර්තාවේ දැක්වෙන පරිදි විදේශගතව රැකියාවල නිරත වන ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට හැත්තෑ පහකට වඩා සේවය කරන්නේ මැදපෙරදිග රටවලයි.

එහි වැඩිම ප්‍රතිශතයක් පෙන්නුම් කරන්නේ කුවේට් රාජ්‍යයි. එය සීයට විසි එකයි දශම දෙකකි.

ලොව පුරා ව්‍යාප්තව ඇති කොරෝනා වසංගත තත්වය හමුවේ විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් මෙම වසංගත අවදානමට මුහුණ දී සිටින බව මාධ්‍ය විසින් දිගින් දිගටම වාර්තා කර තිබුනි.

එහි වැඩිම බලපෑමක්ද එල්ල වී තිබුනේ කුවේට් රාජ්‍යයේ සේවයේ නිරත ශ්‍රී ලාංකික ශ්‍රමියකන් වෙතයි.

කුවේට් රාජ්‍යයේ සිටි කෝවිඩ්19 ආසාදිත ලාංකික ශ්‍රමිකයන් සියරට එවා කුවේටය ශ්‍රී ලංකාවට බෝම්බයක් ගැසු බවට ආණ්ඩුව නියෝජනය කරන හිටපු අමාත්‍යවරයකු පසුගියදා ප්‍රසිද්ධ මාධ්‍යයේ ප්‍රකාශයක්ද කර තිබුනි.

දෙරණ රූපවාහිනි නාලිකාවේ මැයි 25 දින පැවැති දේශපාලන සාකච්ඡාවකදී හිටපු අමාත්‍ය මහින්දානන්ද පවසා තිබුනේ “අපේ රටෙත් බබ්බු නෙවෙයිනේ ඉන්නේ. මේක ඉතාම පැහැදිලියි ඒ රටේ ඉන්න අපේ කෝවිඩ් ලෙඩ්ඩු ටික මෙහෙට එව්වා.අපට බෝම්බයක් ගැහුවා කියන එක තමයි මේකෙන් අපිට තේරෙන්නේ” යනුවෙනි.

ශ්‍රී ලංකාවට වැඩිම විදේශ විනිමය උපයා දෙන ශ්‍රමිකයන් සම්බන්ධයෙන් කොරෝනා වසංගත අවදානම හමුවේ ආණ්ඩුව දක්වන නිද්‍රශිලි ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් දේශපාලනඥයන් මෙන්ම විදෙස් ගත ශ්‍රමිකයන්ද ආණ්ඩුවට දිගින් දිගටම සමාජ මාධ්‍ය ඔස්සේ විරෝධතා දක්වමින් සිටී.

වෙරිටේ පර්යේෂණ ආයතනයට අනුව විදෙස් ගත ශ්‍රමිකයන්ගෙන් සියයට විස්සයි දශම එකක් කටාර් රාජ්‍යයේත්, සියයට දා හතයි දශම පහක් සවුදි අරාබියේත්, සියයට දාසයයි දශම දෙකක් ඇමැරිකාවේත් සේවයේ නිරත වේ. සියයට විසි පහයි දශම එකක ප්‍රතිශතයක් වෙනත් රටවල සේවයේ නිරතව සිටි.

වෙරිටේ පර්යේෂණ ආයතනය හෙළිදරව්ව කර ඇති පරිදි විදෙස් ගත ශ්‍රමිකයන්ගෙන් පසු මෙරටට වැඩිම විදේශ ආදායම් උපයා දී ඇත්තේ ඇගලුම් සහ නිමි ඇදුම් මගිනි. එය ඇමරිකානු ඩොලර් බිලියන දෙකයි දශම හතකි.

සංචාරක කර්මාන්තය මගින් 2019 වසරේ මෙරට උපයා ඇති මුදල ඇමරිකානු ඩොලර් බිලියන දෙකකි.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන වගාව ලෙසින් මුල් තැන ලබා සිටි තේ වලට 2019 වසරේ ශ්‍රී ලංකාවට විදේශ මුදල් උපයා දුන් ප්‍රධාන මාර්ග අතර හිමිව තිබෙන්නේ සිව් වැනි ස්ථානයයි. එමගින් පසුගිය වසරේ මෙරටට ලැබී ඇත්තේ ඇමරිකානු ඩොලර් බිලියන එකයි දශම තුනක් පමණි.

ප්‍රවාහන කටයුතු මගින් ගිය වසරේ ශ්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් බිලියන බින්දුවයි දශම හයක විදේශ මුදලක් උපයා තිබෙන බව වෙරිටේ පර්යේෂණ ආයතනය වැඩි දුරටත් පෙන්වා දී තිබේ.

Comments are closed.