MCC ආධාරය මුලින්ම ඉල්ලුවේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවයි – ඇමරිකානු තානාපති කාර්යාලය

ඇමරිකානු මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් වැඩසටහනෙන් ශ්‍රී ලංකාවට ආධාර මුදලක් ලබාගැනීම සඳහා මුලින්ම අයදුම් කර ඇත්තේ 2005 වසරේදී මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමය තුළ බව කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය පවසයි.

ඩේලි මිරර් පුවත්පත කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් ඇමරිකානු තානාපති කාර්යාලයේ මහජන සම්බන්ධතා නිලධාරී ඩේවිඩ් මැක්වයර් මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

එසේම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම්සීසී ගිවිසුම පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා පත්කළ කමිටුව මෙරට එම්සීසී අධ්‍යක්ෂවරයා හමුවී ඇත්තේ ද එක්වරක් පමණක් බවත් ගිවිසුම පිළිබඳ විමසීම සඳහා ඔවුන් ඇමරිකානු තානාපති කාර්යාල නිලධාරීන් හමුවීමට ඉල්ලීමක් හෝ කර නොමැති බවත් ඒ මහතා පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකාව විසින් අයදුම් කර ඇති ඇමරිකානු ඩොලර් මිලියන 480ක ආධාර මුදල පිළිබඳ දිගින් දිගටම දේශපාලනීකරණය කිරීම සහ සාවද්‍ය තොරතුරු පතුරුවා හැරීම කලකිරීම්සහගත බවයි ඒ මහතා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

Comments are closed.