වැලිකඩ ඝාතනයේ චූදිත රංගජීව මාධ්‍යවේදියෙකුට තර්ජනය කර ඇදගෙනයයි

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් අධි චෝදනා ලැබ සිටින මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව අද (10) අධිකරණ පරිශ්‍රය තුළදීම මාධ්‍යවේදියෙකුට තර්ජනය කර අධිකරණයේ පොලිස් මුරපොළ දක්වා ඔහුව ඇදගෙන ගොස් තිබේ.

ජායාරූපයක් ගැනීම නිසා අදාළ මාධ්‍යවේදියාට රංගජීව තර්ජනය කර ඇති අතර පොලිස් මුරපොළේදී ඔහුගේ කැමරාවේ චිප් එකද ඉවත් කර ගෙන ඇති බව සඳහන්.

වැලිකඩ ඝාතනය සම්බන්ධයෙන් වාර්තා කළ මාධ්‍යවේදී කසුන් පුස්සවෙලට තර්ජනය කිරීම සම්බන්ධයෙන්ද මීට පෙර රංගජීවට එරෙහිව පැමිණිලි ලැබී තිබේ.

එසේම අධිකරණයට අපහාස කරමින් ඔහු කළ ප්‍රකාශ සම්බන්ධයෙන්ද පසුගිය නඩු වාරයේදී අධිකරණයෙහි අවධානය යොමුව තිබුණු අතර ඔහුට ඒ පිළිබඳව දැඩි අවවාද කිරීමක්ද සිදුකෙරිණි.

රංගජීව අදත් නීතිය අතට ගෙන ඩෙගා නටන්නේ මෙවැනි පසුබිමක් තිබියදීය.

එක රටක් එක නීතියක් සහිත පාලනයක් බිහිකරන බව කියමින් බලයට පැමිණි අය යටතේ නීතියට ඉහළින් සිටින ”චණ්ඩි ජීවලා” අධිකරණ භූමිය තුළම යක නටන්නට පටන් ගැනීමෙන් සමාජයට දෙන පණිවිඩය පැහැදිලිය.

Comments are closed.