පළිගන්න පොලිස් නිලධාරීන් තිදෙනෙකු යට කළ ටිපර් රියදුරු අත්අඩංගුවට

මාතර හක්මන ප‍්‍රදේශයේදී මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ටිපර් රථයකින් යට කර පළා ගිය රියදුරා හුංගම කට්ටකඩුව ප‍්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු හුංගම ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි නෙත් අප වාර්තාකරු පැවසුවේය.

සැකකරු පැදවූ ටිපර් රථය ද පොලිස් භාරයට ගෙන ඇත. නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කිරීම හේතුවෙන් අදාළ ටිපර් රථ රියදුරුගේ බලපත‍්‍රය පොලිස් භාරයට ගෙන තාවකාලික රියදුරු බලපත‍්‍රයක් නිකුත් කර මුදා හැරීමට මාතර හක්මන මාර්ගයේ කෝංගල 13 කණුව මාර්ග බාධකයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් පිරිසක් ඊයේ රාති‍්‍රයේ පියවර ගෙන තිබුණි.

එම සිදුවීමෙන් මිනිත්තු 10 කට පමණ පසුව යළි අදාළ මාර්ග බාධකය අසළට පැමිණි ටිපර් රථ රියදුරු එහි රාජකාරී කරමින් සිටි නිලධාරීන් යටකර පළාගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ. අනතුරින් පොලිස් කොස්තාපල්වරයෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

Comments are closed.