ඩ්රයිවර්ලාගේ පුද්ගලික තොරතුරු ආරක්ෂක හමුදා අතට ගැනීමේ සැලසුම්

ශ්‍රී ලංකාවේ රියදුරු බලපත් හිමිකරුවන්ගේ පෞද්ගලික දත්ත ආරක්ෂක හමුදා වෙත ලබා ගැනීමේ සැලසුමක් ආණ්ඩුව විසින් සකස් කරමින් සිටී.

මේ දක්වා පුද්ගලික සමාගමක් සතුව පැවැති රියදුරු බලපත්‍රයක් හිමි පුරවැසියන්ගේ ( පෞද්ගලික ) තොරතුරු පද්ධතිය ආරක්ෂක අංශවෙත ලබා ගැනීමට පහසුවන ආකාරයේ වැඩපිලිවෙලක් සකස් කර ඇති බව ආණ්ඩුව ප්‍රකාශයට පත් කර තිබේ.

මීට ඉහතදී ආරක්ෂක ලේකම් වරයා ප්‍රකාශ කර තිබු පරිදි කොරෝනා රෝගය හා සම්බන්ධ පුද්ගලයන් සැම දෙනාගේම දත්ත ඔහුගේ ජංගම දුරකතනයේ ගබඩා කර ඇත.

ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර පවසන්නේ ලබන වසරේ සිට රියැදුරු බලපත් සකස් කිරීම ශ්‍රී ලංකා යුද හමුදාවට පැවරීමට අවධානය යොමු කර ඇති බවයි.

ඒ අනුව ඉතාමත් අඩු මුදලකට රියැදුරු බලපත්‍රයක් ලබා දීමත්, මෙතෙක් රටට අහිමි කළ විශාල මුදලක් රට තුළ ඉතිරි කර ගැනීමටත්, පුද්ගලික සමාගමක් සතුවන අපේ තොරතුරු පද්ධතිය ආරක්ෂක අංශ වෙත රඳවා ගැනීමටත් හැකි වන බව අමාත්‍යවරයා පවසා ඇත්තේ ජුලි 14 අගහරුවාදා ප්‍රවාහන සේවා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැති විශේෂ සාකච්ඡාවකදීය.

ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න, හමුදාපති ලුතිනත් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හා අමාත්‍යාංශයේ ලේකම් ගාමිනි සෙනවිරත්න ඇතුළු විශාල පිරිසක් සහභාගි වු එම සාකච්ඡාවේදී ඉදිරියේ දී රියැදුරු බලපත් නිකුත් කිරීම ශ්‍රී ලංකා යුධ හමුදාව වෙත පැවැරීම සඳහා ඇති හැකියාව සොයා බැලු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

එම කටයුතු සම්බන්ධීකරණය සඳහා යුද හමුදාව, ආරක්ෂක අමාත්‍යාංශය ඒකාබද්ධව කමිටුවක් පත් කිරීම අමාත්‍ය මහින්ද අමරවීර විසින් සිදු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩි දුරටත් නිවේදනය කර තිබේ.

මෙතෙක් විශාල මුදලක් ගෙවා පුද්ගලික ආයතනයක් මගින් නිකුත් කරන ලද රියදුරු බලපත්‍ර සැකසීම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලැබු අතර සාමාන්‍යයෙන් රියැදුරු බලපත්‍රයක් මහජනතාව විසින් ලබා ගැනීමේ දී ඒ සඳහා රුපියල් 1340ක් වැනි මුදලක් ගෙවීමට සිදු වු බව රජය පවසයි.

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවසන පරිදි එම සාකච්ඡාවේදී ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න, පවසා ඇත්තේ ඉතාමත් අඩු මුදලකට රියැදුරු බලපත්‍රය සකස් කිරීමට හැකි අතර රුපියල් 1340ක් ඒ සදහා වැය කිරීම අපරාධයක් බවයි.

“යුද හමුදාවට කළ නොහැක්කක් නැති බ”ව කී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා රියැදුරු බලපත් සකස් කිරීමේ කටයුතු ඉටු කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාව සූදානම් බව ද එහිදී ප්‍රකාශ කර තිබේ.

Comments are closed.