බාල වයසේ දරුවකුට අපචාර කිරීමේ චෝදනාවට නැටුම් ගුරු දැලේ

දෙපැයකට වරක් ළමා අපචාරයක් සිදු වන ශ්‍රී ලංකාවේ, බාල වයස්කාර පිරිමි දරුවකුට මත්ද්‍රව්‍ය දී ලිංගික අතවර කිරීමේ චෝදනාවට නැටුම් ගුරුවරයකු අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාතේ නර්තන ගුරුවරයකු ලෙස සේවය කළ, වයස අවුරුදු 42 ක පුද්ගලයකු විසින් කාලයක් තිස්සේ වයස අවුරුදු 17 ක බාල වයස්කාර පිරිමි දරුවකු අපයෝජනය කිරීමක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ බව ගැනීමට ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය පවසයි.

එම අධිකාරිය අගෝස්තු 24 සඳුදා නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනයක සදහන්ව ඇත්තේ මෙම දරුවා දැඩි මානසික අපයෝජනයකට ද ලක්ව ඇති බවයි.

2019 වර්ෂයේ අගභාගයේ ක්‍රීඩාංගනයක පැවති වෙස් මංගල්‍යයක පුහුණුවීම් කරන අතරතුර දිනක රාත්‍රියේ මෙම දරුවා ගුරුවරයාගේ කාරයේ නංවාගෙන කෑම ගෙන ඒම සඳහා ගිය අවස්ථාවේ ඔහු දරුවාට මත් ද්‍රව්‍යයක් මිශ්‍ර කොකාකෝලා පානය කිරීමට සලස්වා බරපතල ලිංගික අපයෝජනයකට ලක්කළ බව අනාවරණ වී ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණගේ අත්සනින් යුතුව නිකුත් කර තිබෙන නිවේදනයේ වැඩි දුරටත් සදහන්ය.

පිටරට කළ වැඩ

මීට ඉහත පිටරටදීත් මෙම ගුරුවරයා පිරිමි දරුවකු අපයෝජනය කිරීම සදහා උත්සාහ දරා ඇති බව එම නිවේදනයේ තව දුරටත් සදහන්ය.

“තවද, මෙම සිද්ධියට ප්‍රථමව ද මෙම නර්තන ගුරුවරයා බාල වයස්කාර ළමයින් 03 දෙනකු ඇතුළු 11 දෙනෙකුගේ කණ්ඩායමක් විදේශ රටකට සංචාරයක් සඳහා රැගෙන ගොස් ඇත. මෙහිදී සිදුකරන ලද විමර්ශන වලදී හෙලිවූයේ සංචාරය සදහා සහභාගී වූ එක් බාලවයස්කාර පිරිමි දරුවකු අපයෝජනයට ලක් කිරීමට මෙම සැකකරු උත්සහ කර ඇති බවයි. පසුව එම ළමුන්ගේ භාරය වැඩිහිටි දරුවකුට පවරා එම නර්තන ගුරුවරයා ලංකාවට පැමිණ ඇත. එම දරුවන් ආපසු ලංකාවට පැමිණීමට ගුවන්තොටුපලට පැමිණි අවස්ථාවේ එම දරුවන්ගේ ගුවන් ටිකට්පත් අවලංගු වී තිබීම හේතුවෙන්, එම දරුවන්ව ගුවන්තොටුපලින් එලවා දමා ඇත. අනතුරුව එක් දරුවකු ඒ රටේ තානාපති කාර්යාලයට කතා කිරීමෙන් අනතුරුව තානාපති කාර්යාලයෙන් නිලධාරීන් පැමිණ දරුවන් තනාපති කාර්යාලයට රැගෙනගොස් අවශ්‍ය සුබසාධන පහසුකම් ලබා දී සැකකාර නර්තන ගුරුවරයා ලවා නැවත ගුවන් ටිකට්පත් ගෙන්වාගෙන ළමුන් ලංකාවට එවීමට කටයුතු කර තිබුණි.”

එමෙන්ම මෙම සැකකාර නර්තන ගුරුවරයා මීට පෙර බාලවයස්කාර පිරිමි දරුවන් දෙදෙනකු යොදාගෙන අන්තර්ජාලය හරහා දැරියක් අපහසුතාවයට පත් කිරීමකට ද සම්බන්ධ වී ඇති බවටද අනාවරණය කරගෙන ඇතැයි මහාචාර්ය මුදිත විදානපතිරණ පවසයි.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සහාපති මහාචාර්ය මුදිත විදානපතිරණගේ උපදෙස් පරිදි නියෝජ්‍ය සභාපති විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු නීතීඥ සුජාතා අලහප්පෙරුම, අධ්‍යක්ෂ ජනරාල් අනෝමා සිරිවර්ධනගේ මග පෙන්වීම යට‌ෙත් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයේ ස්ථානාධිපති එන්. කදිරගාමර්, කාන්තා උප පොලිස් පරීක්ෂක චිත්‍රා නන්දනී ඇතුළු නිලධාරීහු මෙම සිද්ධිය‌ට අදාලව ඉදිරි විමර්ශන කටයුතු සිදු කරති.

Leave A Reply

Your email address will not be published.