අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ගේ කාර්යාලයකට ප්‍රහාරයක්

යුද සමයේත් ඉන් පසුවත් අතුරුදහන් කරවන ලද පුද්ගලයන්ගේ පවුල් වල සාමාජිකයන් විසින් සිය සමීපතමයන් සොයා ගැනීමේ අරගලය වෙනුවෙන් නැගෙනහිර පළාතේ පිහිටුවා ඇති කාර්යාලයකට අලුත් ආණ්ඩුව පිහිටවූ දා එල්ල කළ ප්‍රහාරයක් සම්බන්ධයෙන් “කරුණාගේ රසිකයෝ” නම් කණ්ඩායමක් ගැන සැක මතුවී තිබේ.

අම්පාරේ තිරුක්කෝවිල් හි පිහිටි බලහත්කාරයෙන් අතුරුදහන් වු පුද්ගලයන්ගේ පවුල් සංගමයේ කාර්යාලයට එම ප්‍රහාරය එල්ල කර ඇත්තේ 9 වැනි පාර්ලිමේන්තුවේ මංගල සභා වාරය ආරම්භ කළ අගෝස්තු 20 බ්‍රහස්පතින්දා දිනයි.

ප්‍රහාරය එල්ල කළ පුද්ගලයන් විසින් කාර්යාලයේ නාම පුවරුව කඩා බිද දමා විනාශ කර ඇති අතර කාර්යාලයේ සාමාජිකයන්ටත් ලිඛිතව කළ තර්ජනයක් කාර්යාලය තුළ දමා ගොස් තිබු බව බලහත්කාරයෙන් අතුරුදහන් වු පුද්ගලයන්ගේ පවුල් සංගමය පවසයි.

තර්ජනාත්මක සටහනේ අවසානයෙහි “කරුණාගේ රසිකයෝ” යනුවෙන් ද සටහන් කර තිබු බව බලහත්කාරයෙන් අතුරුදහන් කරවූ පුද්ගලයන්ගේ පවුල් සංගමය තිරුක්කෝවිල් පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් වෙයි.

නැගෙනහිර පළාතේ අතුරුදහන් කරවීම් සම්බන්ධයෙන් චෝදනා ලබන කරුණා නමින් ප්‍රකට විනයාගමුර්ති මුරලිදරන් අම්පාර දිස්ත්‍රික්කයෙන් මෙවර මහ මැතිවරණයට තරග වැදී පරාජයට පත් වූයෙකි.

ප්‍රහාරය හා තර්ජනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය හා රතු කුරුස සංවිධානය වෙතත් දන්වා ඇති අතර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමටද පැමිණිලි කර තිබේ.

Leave A Reply

Your email address will not be published.