බන්ධනාගාරයට STF යොදවයි

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පවතින නිලධාරීන්ගේ හිඟය පියවීම සදහා විශේෂ කාර්ය බලකා ( STF) සාමාජිකයන් යෙදවීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව කොළඹ බන්ධනාගාරය ආශ්‍රිතව විශේෂ කාර්ය බලකා අනුකණ්ඩයක් යෙදවීමට පියවර ගත් බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය පවසන්නේ.

“බන්ධනාගාර නිලධාරීන් මේ වන විට 1500 ක් පමණ හිඟතාවයක් තියනවා සමස්ත දෙපාර්තමේන්තුවට. ඒ අනුව මා විසින් ගරු ආරක්ෂක ලේකම්තුමාගෙන් ඉල්ලීමක් කරා විශේෂයෙන් කොළඹ බන්ධනාගාර ආශ්‍රිතව විශේෂ කාර්ය බලකාය අනු ඛණ්ඩයක් යෙදවීමට කටයුතු කරන්න කියලා. ඉතින් ඒ සදහා අනුමැතිය ලැබිලා අද දින සිට විශේෂ කාර්ය බලකාය කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයත්, මැගසින් බන්ධනාගාරයත්, වැලිකඩ බන්ධනාගාරයත් සදහා අපි යෙදවීමට කටයුතු කරනවා.”

විශේෂයෙන් බන්ධනාගාරයේ පිටත ආරක්ෂාව සදහා විශේෂ කාර්ය බලකායේ සාමාජිකයන් යොදවන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය සදහන් කළේ අගෝස්තු 24 සදුදා පැවැති මාධ්‍ය හමුවකදීය.

විශේෂ කාර්ය බලකායේ සාමාජිකයන්, බන්ධනාගාර බුද්ධි හා ආරක්ෂක ඒකකයේ නිලධාරීන් සමග එක්වී බන්ධනාගාරයට ඇතුළුවන සියලුම සිරකරුවන්, නිලධාරීන් සෝදිසි කිරීමට ලක් කරන බව ඔහු එහිදී සදහන් කළේය.

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ අද දින සිදු කළ සෝදිසි කිරීමකදී ඉතා ආරක්ෂිතව සගවා තබා තිබු ජංගම දුරකථන 19 ක් අත්අඩගුවට ගැනීමට හැකි වු බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය වැඩි දුරටත් සඳහන් කළේය.

Leave A Reply

Your email address will not be published.