අවදානම අධිකයි දිනකට PCR 5000 ක් වත් අහඹු ලෙස කළ යුතුයි – GMOA

කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන් කොවිඩ් රෝගීන් විශාල ප්‍රමාණයක් වාර්තා වීමත් සමග කොරෝනා දෙවැනි රැල්ලක දැඩි අවදානමක් මතුව ඇති හෙයින් දිනකට PCR පරීක්ෂණ 5000 ක් වත් අනිවාර්යෙන්ම සමාජය තුළින් අහඹු ලෙස සිදුකළ යුතු බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සහකාර ලේකම්, වෛද්‍ය නවීන් ද සොයිසා මහතා සඳහන් කළේ මාරවිලින් හමු වූ කොරෝනා ආසාදිත කාන්තාව හරහා කොරෝනා දෙවැනි රැල්ලේ පළමු පොකුර මාරවිල ප්‍රදේශයෙන් මතුව ඇතිද යන සැකය ඉස්මතු වන බවයි.

එසේම කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන් දිගින් දිගටම කොරෝනා රෝගීන් වාර්තා වෙමින් තිබෙන අතර ඉදිරියේදී තවදුරටත් එම මධ්‍යස්ථානයෙන් ආසාදිතයන් වාර්තා විය හැකි බව ද ඒ මහතා පෙන්වා දෙනවා.

එමෙන්ම මෙම ආසාදිතයන්ගේ සමාජ සංසරණය කොතැනින් ආරම්භ වී ඇතිද යන්න මෙන්ම කන්දකාඩු මධ්‍යස්ථානයෙන් පිටව ගිය පිරිස් සහ පැමිණි පිරිස් පිළිබඳ තොරතුරුද තවමත් නොදන්නා බවත් ඔහු පවසයි.

ඒ අනුව මෙම තත්වය කෙසේ හෝ පාලනය කර නොගතහොත් තත්වය භයානක වියහැකි බවට නවීන් ද සොයිසා මහතා අනතුරු අඟවා සිටී.

Comments are closed.