තොණ්ඩමන්ගේ අවමඟුලට ගිය මාධ්‍යවේදියෙකුට කොරෝනා කියූ කතාව බොරුවක්

හිටපු අමාත්‍ය ලංකා කම්කරු කොංග්‍රසයේ නායක අරුමුගන් තොණ්ඩමන් මහතාගේ අවමංගල්‍යය ආවරණය කළ මාධ්‍යවේදියෙකුට හා ඔහුගේ සමීපතමයන් දෙදෙනෙකුට කොරෝනා රෝග ලක්ෂණ මතුව ඇති බවට අද (03) ප්‍රචාරය වූ පුවතෙහි සත්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත විද්‍යා ඒකකයේ ප්‍රධානී විද්‍යාඥ සුදත් සමරවීර මහතා අවධාරණය කළේය.

එම මාධ්‍යවේදියා අපගේ හැටන් වාර්තාකරු ලෙසද කටයුතු කරන අතර ඔහුට ඇති වූ ශ්වසන රෝගී තත්ත්වයක් හෙතුවෙන් දික්ඔය රෝහලෙන් ප්‍රතිකාර ගෙන තිබෙන අතර මේ වන විට රෝහල් තුළ පවත්නා ක්‍රමවේදයට යටතේව ශ්වසන රෝග සඳහා ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන්ගේ PCR පරීක්ෂණ සිදුකරන හෙයින් මෙම මාධ්‍යවේදියාවද එම පරික්ෂාවට යොමුකර තිබේ.

ඔහු සමඟ පැමිණ තිබූ සමීපතමයන් දෙදෙනාද නිරෝධායනයට යොමුකර තිබූ බව කියවුණ අතර මේ වන විට ඔවුන් දෙදෙනා නිරෝධායන ක්‍රියාවලියෙන් ඉවත්කර සාමාන්‍ය පරිදි කටයුතු කිරීමට අවසර දී තිබෙන බවයි අද දින කතා බහට ලක් වූ අපගේ මාධ්‍යවේදියා සඳහන් කර සිටියේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් වසංගත විද්‍යා ඒකකයේ ප්‍රධානී විද්‍යාඥ සුදත් සමරවීර මහතා පැවසුවේ මාධ්‍යවේදියාව PCR පරීක්ෂණයට යොමුකළේ ඔහුට කොරෝනා රෝග ලක්ෂණ පැවති නිසා නොවන අතර ඔහුට පැවති ශ්වසන රෝගී තත්ත්වය හේතුවෙන් බවයි.

කිසියම් හෝ අයුරකින් ඔහුට රෝග ලක්ෂණ පැවතියේ නම් නිශ්චිත ලෙසම රෝහල් ගත කර වෛද්‍ය අධීක්ෂණයට යොමුකරවන බව සුදත් සමරවීර මහතා කියා සිටියේය.

ඔහු නිසි පරිදි සෞඛ්‍ය අංශ විසින් ලබා දී තිබූ උපදෙස් පරිදි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සම්බන්ධ කරගනිමින් දික්ඔය රෝහලේ ප්‍රතිකාර සඳහා යොමු වී තිබෙන අතර මේ වන විට ඔහු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවෙයි.

Comments are closed.