ජාතිවාදය අවුස්සලා මිසක් ජාතික සමගිය ගොඩනගලා මිනිස්සු දිනාගන්න කවුරුවත් උත්සාහ කරන්නෙ නෑ – මහාචාර්ය කුමාර් ඩේවිඩ්

මෙතෙක් සිටි සියලු පාලකයන් බලයට පැමිණියේ සිංහල, දෙමළ, මුස්ලිම් ජාතීන් අතර ජාතිවාදය ඇවිස්සීමෙන් බවත්, ජාතීන් අතර සමගිය ගොඩනගා ඒ හරහා බලය ලබා ගැනීමට මිනිසුන් දිනා ගැනීමට කිසිවෙකුත් උත්සාහ නොකරන බවත් ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂක, මහාචාර්ය කුමාර් ඩේවිඩ් මහතා පවසනවා. කිසිදු පාලකයෙකුට ජාතික සමගිය ගොඩනැගීමට කිසිදු වුවමනාවක් නොමැති බවත්, ඔවුන්ට අවශ්‍ය ප්‍රමාණයෙන් අවශ්‍ය මොහොතේදී ජාතිවාදය වපුරන බවත් මහාචාර්යවරයා පෙන්වා දෙනවා.

කුමාර් ඩේවිඩ් මහතා මේ බව සඳහන් කළේ ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂකයන් විසින් ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

ශ්‍රී ලංකාව පමණක් නොව සමස්ත ධනේෂ්වර ලෝකමය මේ වනවිට දැවැන්ත අර්බුදයක ගිලී සිටින බව පෙන්වා දෙන කුමාර් ඩේවිඩ් මහතා පවසන්නේ එම අර්බුදයෙන් ගොඩ ඒමට රටේ පාලකයන්ට කිසිදු අවබෝධයක් නොමැති බවයි. ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීමට මෙන්ම ජාතීන් අතර සමගිය ඇතිකර ඒ හරහා ජයග්‍රහණය නිර්මාණය කිරීමට සුදුසු එකම වැඩපිළිවෙල තිබෙන්නේ ජාතික ජන බලවේගය සතුව බවත් තමන් ජාතික ජන බලවේගය සමග එක්ව මැතිවරණයට ඉදිරිපත් වූයේ ඒ නිසා බවත් මහාචාර්යවරයා පවසනවා.

මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශ කළේ මහ මැතිවරණයේදී ප්‍රතිවිරුද්ධ වේදිකා දෙකක සිටියද මැතිවරණයෙන් පසුව එජාපය හා පොදුජන පෙරමුණ එක්ව ආණ්ඩුව පිහිටුවන බවයි. රටේ පාලකයන් මහජනතාව නියෝජනය නොකරන බවත්, ඒ නිසා රටේ ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව ඔවුන් කතා නොකරන බවත් සුනිල් සෙනෙවි මහතා අවධාරණය කරනවා.

ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුව නියෝජනය කරන මහාචාර්ය චන්දන අබේරත්න මහතා, ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය, මහාචාර්ය විජය කුමාර් මහතා ඇතුළු පිරිසක් ද මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූහ.

Comments are closed.