කැස්බෑ මස් සමග අයෙක් නාවික හමුදා දැලේ

ලෝකයෙන් වඳ වී යාමේ තර්ජනයට ලක්ව සිටින කැස්බෑවුන්ගේ මස් තොගයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ කටයුතු කර තිබේ.

යාපනය, මඩිත්තවේලි ප්‍රදේශයේදී ක්‍රියාත්මක කළ මාර්ග බාධකයකදී කැස්බෑ මස් කිලෝග්‍රෑම් 15 සමඟ සැකකරු ජුලි 18 බ්‍රහස්පතින්දා සිය භාරයට ගෙන ඇත්තේ ‍නාවික හමුදාව විසිනි.

නාවික හමුදා භාරයට ගත් පුද්ගලයා වයස අවුරුදු 41 ක් වන පුන්කුඩුතීව් පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇති අතර, එම පුද්ගලයා සහ කැස්බෑ මස් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා වෙලනී ධීවර පරීක්‍ෂක වෙත භාර දීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

වඳවී යන සත්වයන්ගේ නාම ලේඛනයට ඇතුළත්ව සිටින‍ කැස්බෑවන් ආරක්‍ෂා කිරීම සදහා නාවික හමුදාපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන ‘නීල හරිත සංග්‍රාමය’ යටතේ නාවික හමුදාව නිරන්තරයෙන් කටයුතු කරන බව ශ්‍රී ලංකා නාවික හමුදාව වැඩි දුරටත් සදහන් කරයි.

ලෝකයේ වඳ වී යාමේ තර්ජනයට ලක්වෙමින් සිටින සත්ත්ව විශේෂ අතරින් රතු දත්ත ලේඛනයටද ඇතුළත්ව සිටින කැස්බෑවන් සාගර හා වෙරළ ආශ්‍රිත මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දැඩි තර්ජනයට මුහුණපා සිටින සත්ත්ව විශේෂයකි.

බිත්තර දැමීම ලංකාවේ

ලොව පුරා සාගරවාසී කැස්බෑ විශේෂ 7ක් හදුනාගෙන ඇති අතර එයින් විශේෂ 5ක්ම බිත්තර දැමීම සඳහා ශ්‍රී ලංකා වෙරළ තීරය වෙත ඇදී එන බව පරිසරවේදීහු පෙන්වා දෙති.

ලංකාව තුළ දැකිය හැකි කැස්බෑ විශේෂ 5ක් ලෙස බටු කැස්බෑවා (Olive ridley turtle), ඔළුගෙඩි කැස්බෑවා (Loggerhead), ගල් කැස්බෑවා (Green turtle), පොතු කැස්බෑවා (Hawksbill turtle), දාර කැස්බෑවා (Leatherback turtle) යන කැස්බෑවන් හදුනාගෙන තිබේ.

ශ්‍රී ලංකා වනසත්ව හා වෘක්ෂලතා ආඥා පණතේ III වන කොටසේ 30 වන වගන්තියේ සඳහන් නීතිරීතිවලට අනුව කැස්බෑවුන් මැරීම, තුවාල කිරීම, බිත්තර එකතු කිරීම, කූඩු විනාශ කිරීම, ළඟ තබා ගැනීම, සහ කැස්බෑ කොටස් ළඟ තබා ගැනීම ආදී ක්‍රියාවන් නීතියෙන් සපුරා තහනම් වේ.

එහි 30(2) වගන්තිය යටතේ එම ක්‍රියාවන්හි නිරතවෙන වැරදිකරුවන්ට ලබාදිය යුතු දඬුවම් දක්වා තිබේ.

ඒ අනුව වරදකරු ට රුපියල් දසදහසකට අඩු නොවන රුපියල් තිස්දහසකට වැඩි නොවන දඩයකට හෝ අවුරුදු දෙකකට අඩු නොවන සහ අවුරුදු පහකට වැඩි නොවන කාලයක් සඳහා දෙයාකාරයෙන් එක් ආකාරයක වූ බන්ධනාගාර ගතකිරීම හෝ දඩය සහ දෙකම නියම කළ හැකිය.

සේයා – ශ්‍රී ලංකා නාවික හමුදාව

Comments are closed.